දෙහිවල ටූ ටෝන් අත්අඩංගුවට
April 23, 2026 05:08 pm
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රබල පාතාල අපරාධ කල්ලි නායකයෙකු වන බඩෝවිට අසංකගේ ගෝලයකු වන දෙහිවල "ටූ ටෝන්" නැමැත්තා හෙරොයින් කිලෝ 03කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට ලද තොරතුරකට අනුව, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සංජීව ප්‍රනාන්දු නොහොත් "ටූ ටෝන්" නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් කෝටි හතර හමාරකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 03 ග්‍රෑම් 150 කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය රත්මලානේ කුලියට ලබාගත් නිවසක ගබඩා කරමින්, අවට ප්‍රදේශවලට බෙදාහැරීමට සූදානම් කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තවද අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙවැනි වැටලීම්වලදී එම මෙහෙයුම්වලට එරෙහිව පලායාම හා නිලධාරීන් මුලාකර නීතිමය ආවරණය ලබා ගැනීම සඳහා වන උපක්‍රම පිළිබඳව මනා පුහුණුවක් සහිත ජාවාරම් කරුවෙකු බවට ද කරුණු අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු රඳවා තබා ගැනීමේ නියෝග මත රඳවා වැඩිදුර විමර්ශන සිදුකරන අතර පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ නියෝග පරිදි එම බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක චතුරංග, පොලිස් සැරයන් වරුන් වන 409 විජේරත්න, 74313 සම්පත්, පොලිස් කොස්තාපල් වරුන් වන 39850 අෂාන්, 93728 ජයසිංහ, 100683 හේමන්ත, 105123 ශ්‍රිමන්ත, 102726 ජයසුන්දර, 106039 පෙරේරා, කාන්තා පොලිස් කොස්තාපල් 13103 සමිතා යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
