පසුගිය දින 7 තුළදී දියේ ගිලී සිදු වූ ජීවිත හානි ගණන 26ක්
April 19, 2026 07:09 pm
මෙවර අලුත් අවුරුදු සමයේ ගෙවුණු දින 7 ක කාලය තුළ දියේ ගිලීම්වලින් මේ දක්වා පුද්ගලයින් 26දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
දියේ ගිලීම්වලින් ඊයෙත් (18) උපකාරක පන්ති ගුරුවරයෙක් හා උසස් පෙළ සිසුවෙක් මිය ගිය අතර අවුරුදු උත්සව අවස්ථාවකට සහභාගි වූ හය හැවිරිදි දැරියක්ද නාන තටාකයක වැටී මියගොස් තිබේ.
උපකාරක පන්ති ගුරුවරයෙකු සහ උසස් පෙළ සිසුවෙකු තඹුත්තේගම නල්ලච්චිය වැවේ දියනෑමට ගොස් තිබුණේ ඊයේ පස්වරු 3.30ට පමණි.
වාරි ඇලේ දියනාමින් සිටි ඔවුන් දෙදෙනා එක්වරම ජලපහරට හසුව මීටර් 300ක පමණ දුරක් ගසාගෙන ගොස් ඇත.
ඒ වනවිට ඊට යාබදව දිය නාමින් සිටි තවත් පිරිසක් දිය පහර ඔස්සේ ගසාගෙන පැමිණි තරුණයින් දෙදෙනා වහා දියෙන් ගොඩට ගැනීමට පියවර ගෙන තිබුණි.
කඩිනමින් ඔවුන් තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණත් රෝහල්ගත කරන විටත් තරුණයින් දෙදෙනා මියගොස් තිබුණි.
සිද්ධියෙන් මියගිය එක් තරුණයෙක් තඹුත්තේගම ඉකිරිවැව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ධනුෂ්ක උදයංග නම් උපකාරක පන්ති ගුරුවරයෙකි.
සිද්ධියෙන් මියගිය අනෙක් තරුණයා අනුරාධපුර ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුවෙකි.
මේ අතර හය හැවිරිදි දැරියක් පිහිනුම් තටාකයකට වැටී මියයාමේ අනුවේදනීය පුවතක් පිළියන්දල දම්පේ ප්‍රදේශයෙන් වාර්තා විය.
දම්පේ ප්‍රදේශයේ හෝටලයකදී පිරිසක් අවුරුදු උත්සවයක් ඊයේ පවත්වා තිබුණේ පවුල් කිහිපයක ඥාති හිත මිතුරන්ගේ සහභාගීත්වයෙනි.
පස්වරුවේ එම පිරිස පිහිනුම් තටාකය භාවිත කරමින් සිටින අතරතුර පිහිනුම් තටාකයේ වැඩිහිටි පිරිස භාවිත කරන කොටසේ තිබී කළු පැහැ යමක් නිරීක්ෂණය වී තිබේ.
කුඩා දැරියක් ඒ තුළ ගිලී සිටින බව තහවුරු කරගත් එහි සිටි අයෙක් වහා දැරිය තටාකයෙන් පිටතට ගැනීමට කටයුතු කර තිබුණි.
කුඩා දැරිය කඩිනමින් පිළියන්දල දිසා රෝහලට රැගෙන ගියත් ඒ වන විටත් ඇය සිය දිවියට සමුදී තිබුණේ අවුරුද්දේ සතුට සැණින් සැමට අහිමිකරමිනි.
කස්බෑව හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා අදාළ හෝටලයට පැමිණ ඊයේ රාත්‍රියේම ස්ථානීය පරීක්ෂාව සිදුකළ බවය.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මිය ගියේ පැලැන්වත්ත, මිහිඳුපුර පදිංචිව සිටි ඉහන්සා පෙරේරා නම් හය හැවිරිදි දැරියකි.
ඇගේ මව විදෙස්ගතව සිටින අතර ඇය සිය පියාගේ සහෝදරියකගේ රැකවරණ යටතේ හැදී වැඩී ඇති බව පොලීසිය පවසයි.
මේ අතර අනුරාධපුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් තිසාවැවේ ගිලෙමින් සිටි තරුණයෙකුගේ දිවි බේරාගැනීමට ඊයේ සමත්ව තිබුණි.
තිසාවැවේ අනාරක්ෂිත ස්ථානයක දියනාමින් සිටියදී මෙලෙස දියේ ගිලීමට ලක්ව තිබුණේ 27 හැවිරිදි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර අද දහවල් බෙන්තොට මුහුදු තීරයේ දියනාමින් සිටියදි මුහුදට ගසාගෙන ගිය තරුණයෙකුගේ සිරුරද ජීවිත ආරක්ෂක භටයන් විසින් සොයාගනු ලැබීය.
මෙලෙස මියගොස් තිබුණේ මොරටුව විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
