රුපියල් 45,000ක අල්ලස් මුදලක් ලබාගත් තැරැව්කරු අත්අඩංගුවට
April 6, 2026 08:27 pm
රුපියල් හතළිස් පන්දහසක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් තැරැව්කරුවෙකුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
නෝවුඩ් ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරු මෙම සැකකරුව අද (06) පෙරවරුවේ අයිරදි හංදිය පාලම අසල දී නිලධාරීන් විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.
ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ඔප්පුවක් හෝ බලපත්‍රයක් නොමැතිව, ඉඩමකට ඔප්පුවක් සාදා දෙන බව පවසා, වරින්වර රුපියල් 275,000/- ක මුදලක් සැකකරු විසින් අදාළ පැමිණිලිකාරියගෙන් ලබාගෙන තිබේ.
පසුව ඉඩම පිහිටි නෝවුඩ් වසම භාර ග්‍රාම නිලධාරීගේ වාර්තාව ලබා ගැනීමට ග්‍රාම නිලධාරියාට ලබා දීමට බවට පවසා නැවතත් රුපියල් 45,000ක මුදලක් සැකකරු විසින් අදාළ කාන්තාවගෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව සැකකරු විසින් එම අල්ලස් මුදල් ලබා ගත් අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ගවරවිල, අප්කට් සාමිමලේ ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
