සේවක අර්ථසාධක අරමුදලේ ගනුදෙනු ගැන තොරතුරු දිය යුතු නැහැ - අභියාචනාධිකරණයෙන් තීන්දුවක් 

සේවක අර්ථසාධක අරමුදලේ ගනුදෙනු ගැන තොරතුරු දිය යුතු නැහැ - අභියාචනාධිකරණයෙන් තීන්දුවක් 

March 27, 2026   02:20 pm

සේවක අර්ථසාධක අරමුදලේ ගනුදෙනුව සම්බන්ධව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව ලබා දුන් තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කර තිබේ. 

ඒ ශ්‍රී ලංකා බැංකුවේ ස්ථාවරය පිළිගනිමින්ය. වෙරිටේ රිසර්ච් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ, රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනුවලට අදාළ තොරතුරු ඉල්ලා තිබුණි. 

එහිදී අදාළ ගනුදෙනුව සිදු කළ දිනයන්, ඵලදායිතාව, මිල ගණන් සහ ගනුදෙනුවලට අදාළ පාර්ශ්වයන් යනාදි සවිස්තරාත්මක වාර්තා සහිතව විස්තර ඉල්ලා සිටියේය. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව ඇතැම් පොදු තොරතුරු හෙළිදරව් කළ අතර වාණිජයම වශයෙන් සංවේදීවීම සහ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 5(1) වගන්තිය යටතේ දක්වා ඇති ව්‍යවස්ථාපිත ව්‍යතිරේඛයන් තුළට ඇතුළත්වීම යන පදනම මත ගනුදෙනු පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. 

අභියාචනාධිකරණය විසින් ප්‍රකාශ කරන්න ලද්දේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 5(1)(ඈ) වගන්තිය යටතේ දක්වා ඇති හෙළිදරව් කිරීම තුළින් තෙවන පාර්ශ්වයකට හානියක් විය හැකි වාණිජමය වශයෙන් රහසිගත තොරතුරු ආරක්ෂා පිළිබඳ ව්‍යතිරේඛය තුළට ඇතුළත් වන බවය. 

සේවක අර්ථසාධක අරමුදලේ ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හෙළිදරව් කිරීම තුළින් අරමුදලේ උපායමාර්ගයන් නිරාවරණය වේ. 

එමඟින් රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසිවල වෙළඳපොල සහභාගී වන්නන්ට සිය ලංසු පිළිබඳ පුර්වාපේක්ෂණයන් කිරීමට සහ උපායශීලී ලෙස සිය ලංසු ඉදිරිපත් කිරීමට හැකි බව අභියාචනාධිකරණය නිරීක්ෂණය කර ඇත. 

මේ හේතුවෙන් අවසාන වශයෙන් මිලියන ගණනක් වූ අරමුදලේ දායකයන්ට බලපෑමක් සිදු වන අයුරින් සේවක අර්ථසාධක අරමුදලේ තරගකාරී අවාසියකට සහ ප්‍රතිලාභ ලැබීම අවමවීමකට ලක්විය හැකි බව සිය අවධානයට යොමු කළ බව අධිකරණය පැවසීය. 

සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් ආරක්ෂා කිරීම සම්බන්ධව මහබැංකුව වෙත පවතින භාරකාරීත්ව වගකීම එහිදී අධිකරණය විසින් අවධාරණය කරමින් අධිකරණය විසින් දක්වා සිටින ලද්දේ මෙවැනි සංවේදී මූල්‍ය තොරතුරු හෙළිදරව් කිරීම තුළින් අරමුදලේ වෙළඳපොල ස්ථාවරත්වයට හානි සිදුවිය හැකි බවය. 

එම අරමුදලේ මෙහෙයුම්වල විනිවිදභාවය වාර්ෂික වාර්තා කිරීම, විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක්කිරීම සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණය වැනි ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ගයන් හරහා සුරක්ෂිත කර ඇති බව අධිකරණය පෙන්වාදෙයි. 

මහජන සුබසිද්ධිය පිළිබඳ ගැටලුවෙහිදී, අධිකරණය විසින් නිගමනය කරන ලද්දේ මෙම හෙළිදරව්ව කිරීම තුළින් ලැබෙන ප්‍රතිලාභ, සේවක අර්ථසාධක අරමුදලට සහ එහි සාමාජිකයන්ට සිදුවිය හැකි හානිය ඉක්මවා යන බව පෙන්වාදීම වගඋත්තරකරු අපොහොසත්ව ඇති බවය.