ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

March 15, 2026   01:48 am

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ අද (15) උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදී ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී මෙම QR කේතය භාවිත කළ යුතුව ඇති බවත් QR කේතය නොමැතිව කිසිදු අවස්ථාවක ඉන්ධන ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බවත් බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

QR කේතය ලබා ගැනීමට වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් මෙම  QR කේතය භාගත කළ හැකිය.

QR කේතය  ලබා ගන්නා ආකාරය සම්පූර්ණයෙන් පහතින්

1. පෙර QR කේතය ලියාපදිංචි කළ අය:

i. වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, (14) මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබට හිමි කේතය භාගත (Download) කරගත හැකිය.

ii.වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති නම්,(15) දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk වෙබ් අඩවියෙන් ඔබ නැවත ලියාපදිංචි විය යුතුය.

02. පෙර QR කේතය ලියාපදිංචි නොකළ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV ) අලුතින්ම ලියාපදිංචි කරන ලද වාහන:

i. 2026.03.15 දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබ ලියාපදිංචි විය යුතුය.

මෙලෙස ලියාපදිංචි වීමෙන් පසුව සතියකට ඉන්ධන ලබා ගත හැකි අතර එම ලීටර ප්‍රමාණය පහතින්,

  • බස් රථ-  ලීටර් 60
  • මෝටර් සයිකල් - ලීටර් 05
  • වෑන් රථ - ලීටර් 40
  • මෝටර් රථ - ලීටර් 15
  • මෝටර් ලොරි - ලීටර් 200
  • ඉඩම් වාහන - ලීටර් 25
  • මෝටර් ත්‍රීරෝද රථ- ලීටර් 15
  • විශේෂ කාර්ය වාහන- ලීටර් 40
  • ක්වොඩ්‍රිසයිකල් - ලීටර් 5        

එමෙන්ම පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරන බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ සම්බන්ධව බලශක්ති අමාතශාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

මාධ්_ය නිවේදනය 14.03.2026 - Ministry of Energy by poornima