ඇමති විජිත හෙට ජර්මනියට
February 25, 2026 11:36 am
අමාත්‍ය විජිත හේරත් මහතා හෙට (26) ජර්මනියේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යවරයා හෙට සහ අනිද්දා (27) දිනවලදී මෙම සංචාරයේ නිරත වෙයි.
ජර්මානු - ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමයේ ජර්මනියේ (OAV) බ්‍රෙමන් ශාඛාව විසින් කරන ලද ආරාධනාවකට අනුව මෙම සංචාරය සංවිධානය කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
වෙළෙඳාම සහ විදේශ රැකියා සම්බන්ධ රැස්වීම් මාලාවකට අමාත්‍යවරයා සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
OAV බ්‍රෙමන් ශාඛාවේ 125 වැනි සංවත්සර උත්සවයේදී අමාත්‍ය හේරත් මහතා ආසියාවේ ආරාධිත අමුත්තා සහ ප්‍රධාන කථිකයා ලෙස සහභාගී වනු ඇත.
එම අවස්ථාවේ ජර්මානු පාර්ශවයේ ආරාධිත අමුත්තා සහ ප්‍රධාන කථිකයා ලෙස ජජර්මනියේ විදේශ අමාත්‍ය ආචාර්ය ජොහාන් වාඩෙෆුල් සහභාගී වීමට නියමිතය.
OAV – German Asia-Pacific Business Association යනු ජර්මානු–ආසියානු ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන විශාලතම ජර්මානු සංගමය වන අතර, ආසියා පැසිෆික් කලාපයේ ජර්මානු ව්‍යාපාරික නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සම්බන්ධ කරන ප්‍රමුඛ වේදිකාවක් වේ.
මෙම සංචාරයේදී අමාත්‍ය හේරත් මහතා ජොහාන් වාඩෙෆුල් මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, ශ්‍රී ලංකාව පිළිබඳ ව්‍යාපාරික සාකච්ඡාවකටද සහභාගී වීමටත් නියමිතය.
