'ඔත්තුකරු මරා හිස ඕලුගලගේ නිවසට යවන්න' - කුලී ඝාතකයාට කලින් පොලීසිය ක්‍රියාත්මක වෙයි

'ඔත්තුකරු මරා හිස ඕලුගලගේ නිවසට යවන්න' - කුලී ඝාතකයාට කලින් පොලීසිය ක්‍රියාත්මක වෙයි

February 24, 2026   12:14 pm

මහාපරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගැනීමට ඔත්තුව ලබාදුන් ඔත්තුකරුවෙකු ඝාතනය කර හිස කොටස අදාළ විමර්ශන සිදුකළ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ නිවස ඉදිරිපිට තැබීමේ කොන්ත්‍රාත්තුවක් භාරගත් කුලී ඝාතකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසිනි.

කිරින්ද මුහුදු වෙරළේදී ඉකුත් වසරේ නොවැම්බර් 12 වෙනිදා අයිස් කිලෝගෑම් 350ක පමණ ප්‍රමාණයක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අතඅඩංගුවට ගනු ලැබීය.

ඒ එහි හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදීය.

එහිදී සැකකරුවන් 7 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ මත්ද්‍රව්‍ය තොගය මේවන විට ඩුබායිහී සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'අංගොඩ ප්‍රියන්ත' නැමැත්තාට අයත් බව වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත. 

මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගැනීමත් සමඟ ඔහු ඒ පිළිබඳව දැඩි වෛරයකින් පසු වී තිබේ.

ඒ අනුව රොහාන් ඕලුගල මහතාට අදාළ ඔත්තුව ලබාදුන්නේ කවුරුන් විසින්ද යන්න පිළිබඳව අදාළ ජාවාරම්කරු සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඔත්තුකරු පිළිබඳව තොරතුරු සොයාගැනීමෙන් පසුව ඔහු ඝාතනය කර ඔහුගේ හිස ඕලුගල මහතාගේ නිවසට යැවීමේ කොන්ත්‍රාත්තුව අපරාධ කල්ලියකට භාරදීමට 'අංගොඩ ප්‍රියාන්ත' නැමැත්තා කටයුතු කර තිබේ.

ඒ අතරතුරදී පාතාල කල්ලිය විසින් තමන් පිළිබඳව තොරතුරු සොයන බව දැනගත් ඔත්තුකරු නිවස අතහැර ගොස් තිබේ.

අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාට ලද තොරතුරකට අනුව කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ සැලැස්ම පිළිබඳව තොරතුරු අනාවරණ වී ඇත.