හිටපු ඇමති ජොන්ස්ටන්ගේ සතොස නඩුව කල් යයි

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ සතොස නඩුව කල් යයි

February 20, 2026   03:53 pm

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 11 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. 

මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වෙනත් නඩුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී සාක්ෂිකරුවන්ගෙන් මූලික සාක්ෂි සටහන් කර ගැනීම ද සිදුවිය. 

ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාල මහතාගේ මෙහෙයවීම යටතේ විත්තිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදුවිය. 

ඉන්පසුව වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 11 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙ‍ෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර  දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබුණි.