ත්‍රි'මලේ සිද්ධිය ගැන පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිගෙන් ජනපතිට ලිපියක්

ත්‍රි'මලේ සිද්ධිය ගැන පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිගෙන් ජනපතිට ලිපියක්

February 10, 2026   12:13 pm

ත්‍රිකුණාමලය බෝධිරාජාරාමයේ බුදු පිළිමය තැන්පත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව පිළිබඳව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමියන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා ඇතුළු දස දෙනෙකු සිරගත කිරීම පිළිබඳව සිය කණගාටුව පළ කරන බව එම ලිපියේ සඳහන් වේ.

එමෙන්ම මෙම භික්ෂූන් වහන්සේලා බුදු පිළිමයක් තැන්පත් කළේ පෙර රජවරුන් විසින් දිවි හිමියෙන් රැක ගත්, සසුනට පූජා කරන ලද මෙම පින්බිමේ දී වන බවත් ඔවුන් පහරකෑමට ලක්වූයේ ද බුදු පිළිමයක් තැබීමට ගොස් මිස වෙනත් කිසිදු අපරාධයක් සිදු කිරීමෙන් නොවන බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

මෙවැනි සාමාන්‍ය සිදුවීමක් පදනම් කරගෙන සිදුවිය නොහැකි ආකාරයේ චෝදනා ගොනු කොට, රජයේ මැදිහත්වීම ද ඇතුළුව කරන ලද මෙම ක්‍රියාව සිතා මතා ශාසනය සම්බන්ධයෙන් කරන ලද මහා අපරාධයක් බව තමාගේ විශ්වාසය වන බවද එම ලිපියේ සඳහන් වේ.

එමෙන්ම මෙම භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දෙනා වහාම නිදහස් කිරීමට කටයුතු කරන ලෙසද මෙම ලිපිය හරහා උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය පහතින්,