නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය අදයි

February 1, 2026   06:13 am

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

එමෙන්ම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි නවම් පොහොය දිනකය.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර විශාලා නුවර චාපාල චේතිය අසලදී අයු සංස්කාරය අත්හැරීම සිදුකර ඇත්තේද අද වැනි නවම් පොහෝ දිනක බවද බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

නවම් පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල ආගමික වැඩසටහන් රැසක් අද දිනයේදී සංවිධානය කර තිබේ.

මේ අතර දෙරණාභිවන්දනා නවම් පොහෝ දින සජීව විකාශය බලංගොඩ කොට්ටිඹුල්වල ඓතිහාසික ශ්‍රී වලගම්බා රජමහා විහාරස්ථානයේදී මේ වන විට ආරම්භ වී තිබේ.

දෙරණාභිවන්දනා තුළින් රටට සහ ජනතාවට සෙත්පතා පිරිත්  සජ්ඣායනයක්ද පැවැත්වීමට නියමිතය.

එමෙන්ම එෆ්.එම් දෙරණ අසපුව නවම් පෝදා සජීව විකාශය අද දවස පුරා කුරු‍ණෑගල, පොතුහැර, මහපිටිය දෙගල්ලස්සේගෙදර ශ්‍රී සංඝ‌බෝධි පරමානන්ද  විහාරස්ථානයේ දී පැවැත්වේ.

130 වන වරට පැවැත්වෙන අසපුව පෝදා වැඩසටහනේ දී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් සජීව ලෙස එෆ් දෙරණ ඔස්සේ ප්‍රචාරය කිරිමට ද නියමිතයි.