ලොව රන් සහ රිදී වෙළෙඳපොළේ හදිසි මිල අඩුවීමක්

ලොව රන් සහ රිදී වෙළෙඳපොළේ හදිසි මිල අඩුවීමක්

January 31, 2026   10:11 am

ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළයෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

අද (31) වනවිට රන් අවුන්සයක මිල අ.ඩො. 4,893.2ක් දක්වා අඩුවී ඇති අතර, එය ඊයේ (30) දිනයට සාපේකෂව අ.ඩො. 434.45ක පහළ යාමක්ය. ප්‍රතිශතයක් ලෙස මෙම පහළයෑම 8.15%කි.

රිදී මිල ගණන්ද දැවැන්ත ලෙස පහළබැස තිබේ. අද වනවිට රිදී අවුන්සයක මිල අ.ඩො. 85.34ක් වන අතර, එය පෙර දිනයට සාපේක්ෂව අ.ඩො. 29.16ක මිල පහළයෑමක්ය. ප්‍රතිශතයක් ලෙස එය 25.46%ක් වේ.

මේ අනුව ගතවූ පැය 48 තුළ රන් සහ රිදී වෙළෙඳපොළෙන් ඩොලර් ට්‍රිලියන 15ක් පමණ ඈවර වී තිබෙන බව ජාත්‍යන්තර වාණිජ පුවත් වාර්තා තහවුරු කර ඇත.

කෙසේ වෙතත් රන් මිල තවමත් පවතින්නේ 2025 වසරට වඩා දෙගුණයක් පමණ ඉහළ මට්ටමකින්ය.

මේ අතර ලෝක රන් මිල පහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 20,000කින් පමණ පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (31) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 349,000ක් දක්වා අඩුවී තිබේ. ඊයේ (29) දිනයේ එම මිල රුපියල් 368,000ක් ලෙස පැවතිණි.

මේ අතර, ඊයේ රුපියල් 400,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 380,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද වනවිට ලෝක රන් වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 4,893.2ක් දක්වා අඩුවී ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම, ඊයේ සහ අද දිනය තුළ මෙරට රත්‍රං මිල ගණන් සමස්තයක් ලෙස රුපියල් 40,000කින් පමණ පහළ බැස ඇති බව රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.