ඇමති විජිතගේ ලිපි ශීර්ෂ හොරට හැදූ එජාප හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ඇමති විජිතගේ ලිපි ශීර්ෂ හොරට හැදූ එජාප හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

January 28, 2026   08:07 pm

විදේශ කටයුතු‚විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ලිපි ශීර්ෂ වංචනික අයුරින් භාවිත කරමින් විදේශ රැකියා ජාවාරම් සිදුකළ පුද්ගලයෙකුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද විවිධ ලිපි ශීර්ෂ, විදේශ ගමන් බලපත්‍රවල ඡායා පිටපත් හා විදේශ රැකියා ඉල්ලුම්පත්‍ර රැසක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත.

සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගලයින් 11 දෙනෙකුගෙන් කැනඩා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවත් ඔහු වංචා කළ මුදල ලක්ෂ 30කට අධික බවත් අනාවරණය වී තිබේ.

සැකකරු  මහනුවර, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි, යටිනුවර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රිවරයෙකු බව සඳහන් වේ.

සැකකරු ඊයේ  (27) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කළ ද, ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු සිය ජාවාරම් සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ ලිපි ශීර්ෂ භාවිත කරන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලි දෙකක් අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් මෙම ජාවාරම මෙහෙයවූ සැකකරු පසුගිය 26 දින අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ඔහු රාජගිරිය‚ ඔබේසේකරපුර ලැගුම්හලක රහසිගතව ස්ථානයක රැඳී සිටිමින් ජාවාරම මෙහෙයවන අවස්ථාවේ දී ය. 

මෙම සැකකරු වසර කිහිපයක් තිස්සේ ව්‍යාජ ලියකියවිලි සකස් කර මෙවැනි ජාවාරම් සිදුකර ඇති අයෙකු බවත් ඔහුට එරෙහිව මහනුවර අධිකරණයේ නඩු කිහිපයක් ම පැවැති බවත් වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී තිබේ.