අවශ්‍ය නම් නේටෝ සාමාජිකයෙකුට එරෙහිවද හමුදා බලය යෙදවීමට පසුබට නොවන බව ට්‍රම්ප් කියයි
සයුරෙන් එතෙර

අවශ්‍ය නම් නේටෝ සාමාජිකයෙකුට එරෙහිවද හමුදා බලය යෙදවීමට පසුබට නොවන බව ට්‍රම්ප් කියයි

January 19, 2026   10:17 pm

අමෙරිකාවට ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් නේටෝ ආරක්ෂක සංවිධානයේ සාමාජිකයෙකුට එරෙහිව වුවද අවශ්‍ය නම් හමුදා බලය යෙදවීමට පසුබට නොවන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

නොබෙල් සාම ත්‍යාගය නොලැබුණු පසුබිමක සාමය ගැන පමණක් සිතීමට තමා බැඳී නොමැති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එමෙන්ම, ග්‍රීන්ලන්තය පාලනය කිරීම සඳහා වූ ඔහුගේ ඉල්ලීම නැවතත් ස්ථීර කර තිබේ.

මේ අතර, තමාට නොබෙල් සාම ත්‍යාගය ලබා නොදීම සම්බන්ධයෙන් ලිපියක් යොමුකරමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් නෝර්වේ අගමැති ජොනස් ගාර් ස්ටෝර් වෙත දොස් පවරා ඇත.

කෙසේ නමුත් ට්‍රම්ප් ජනාධිපතිවරයාට පිළිතුරු දෙමින්, නෝර්වේ අගමැති ජොනස් ගාර් ස්ටෝර් පවසා ඇත්තේ එම නොබෙල් සාම ත්‍යාගය  ඔක්තෝම්බර් මාසයේදී වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට ප්‍රදානය කළේ නෝර්වේ රජය නොවන බවත් එය පිරිනමන ලද්දේ ස්වාධීන කමිටුවක් විසින් බවත්ය.

ට්‍රම්ප් ජනාධිපතිවරයා යොමුකළ ලිපියේ සඳහන් වී ඇත්තේ, යුද්ධ 8ක් නැවත්වා තිබියදීත් නෝර්වේ රාජ්‍ය විසින් ඔහුට නොබෙල් සාම ත්‍යාගය ලබා නොදීමට තීරණය කළ පසුබිමක, සාමය ගැන පමණක් සිතීමට ඔහුට තවදුරටත් බැඳීමක් නොමැති බවය.

එබැවින් මින් ඉදිරියට අමෙරිකාවට යහපතක් සිදුවෙන දේ සහ සුදුසු දේ ගැන පමණක් සිතන බවද එම ලිපියේ සඳහන් වේ.

එමෙන්ම ඔහුගේ ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත්තේ ග්‍රීන්ලන්තය සහ එහි සම්පූර්ණ පාලනය අමෙරිකාවට නොමැති නම් ලෝකය අනාරක්ෂිත වන බවය.

ජනාකීර්ණ නොවන නමුත් සම්පත් වලින් පොහොසත් ආක්ටික් සාගර කළාපය මිසයිල ප්‍රහාර වලදී පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ කලාපයේ යාත්‍රා නිරීක්ෂණය කිරීම සඳහා හොඳින් ස්ථානගතව ඇති ප්‍රදේශයකි.