උලපනේ සහ ගම්පොළ අතර මාස දෙකක් එකම තැන සිරවූ දුම්රිය

උලපනේ සහ ගම්පොළ අතර මාස දෙකක් එකම තැන සිරවූ දුම්රිය

January 14, 2026   01:36 pm

දිට්වා සුළි සුළඟ සමඟ ඇති වූ නායයෑම් තත්ත්වය හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් උලපනේ සහ ගම්පොළ දුම්රිය ස්ථාන දෙක අතර එකම ස්ථානයක නතර කර ඇති දුම්රියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.

පසුගිය නොවැම්බර් මස 27 වැනිදා පස්වරු 2.07ට අංක 1153 එන්ජිම දරන 'පාසල් දුම්රිය' ලෙස ප්‍රසිද්ධ මෙම දුම්රිය සුපුරුදු ලෙස ගමන් ආරම්භ කළේ, මහනුවර සිට නාවලපිටිය බලා ගමන් කිරීමේ අරමුණෙනි. 

කෙසේ වෙතත් එයට එදින සිය ගමනාන්තය දක්වා ළඟාවීමට නොහැකි වූයේ ගම්පොළ තැඹිලිගල සහ උලපනේ අතර වරකාපිටිය උපදුම්රිය පොළ ආසන්නයේදී දුම්රිය මාර්ගය ස්ථාන දෙකකින් නායගොස් තිබීම හේතුවෙනි. 

එහි රියදුරු මාර්ගයට වැටී තිබූ පස් කන්දක් හේතුවෙන් ඉදිරියට ධාවනය කිරීමට නොහැකි බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියට දැනුම්දීමට කටයුතු කළේය. 

ඉන් අනතුරුව නැවත ගම්පොළ දුම්රිය ස්ථානය වෙත දුම්රිය පසුපසට ධාවනය කිරීම සඳහා රියදුරු උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ දුම්රිය ගමන් ගත් මාර්ගයේ ගම්පොළ වරකාපිටිය දුම්රිය උපපොළ ආසන්නයේ දුම්රිය මාර්ගයේ නායයෑම රියදුරුට දර්ශනයවී ඇත.

ඒ හේතුවෙන් ඔහු විසින් දුම්රිය උලපනේ සහ වරකාපිටිය දුම්රිය උපපොළ අතර ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් නතර කිරීමට රියදුරු සමත්වී තිබේ. 

එම දුම්රියේ ගමන් ගත් දුම්රිය රියදුරන් සහ කාර්ය මණ්ඩලය යළිත් නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත ගොස් ඇත්තේ,  අදාළ සිදුවීමෙන් දින 03කට පසුවවීමත් විශේෂත්වයකි.

මෙලෙස දුම්රිය ආරක්ෂිතව නවතා ගැනීමට හැකි වූයේ එහි දුම්රිය රියදුරුගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසාවෙන් බව දුම්රිය නවතා ඇති උලපනේ වරකාපිටිය ගම්වාසීන් පවසති.

එමෙන්ම දුම්රිය මාර්ගයට හානිවීම හේතුවෙන් එකම පොදු ප්‍රවාහනය ලෙස දුම්රිය භාවිතා කළ තමන්ට දෛනික ගමනාගමනය වෙනුවෙන් මහත් වෙහෙසක් හා මුදලක් දැරීමට සිදුව ඇති බවට ඔවුහු කියති. 

ඒ හේතුවෙන් හැකි කඩිනමින් මෙම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කරවීම ආරම්භ කරන ලෙසට ප්‍රදේශවාසින් ඉල්ලා සිටියහ.