ප්‍රදේශ කිහිපයකින් ත්‍රීරෝද රථ සොරකම්කළ කල්ලියක් අත්අඩංගුවට

ප්‍රදේශ කිහිපයකින් ත්‍රීරෝද රථ සොරකම්කළ කල්ලියක් අත්අඩංගුවට

January 11, 2026   03:37 pm

ත්‍රීරෝද රථ සොරකම් කරමින් ඒවායේ චැසි අංකය, එන්ජින් අංකය සහ වර්ණය වෙනස්කර නැවත විකිණීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් විසින් සිය ත්‍රීරෝද රථය සොරකම් කර ඇති බවට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 28ත් 43ත් අතර වයස්වල පසුවන අඟුරුවැල්ල, කුරුවිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් සතුව තිබී එලෙස නැවත සකසන ලද ත්‍රීරෝද රථ 11ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම ත්‍රීරෝද රථ බලන්ගොඩ, බදුල්ල, බත්තරමුල්ල, මිරිහාන යන ප්‍රදේශවලින් සොරකම් කළ ත්‍රීරෝද රථ බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ මෙලෙස නීති විරෝධීව සකසන ලද ත්‍රීරෝද රථයක් රුපියල් ලක්ෂ 12ත් - 13ත් අතර මුදලකට අලෙවී කර ඇති බවය.

සැකකරුවන් හෙට (12) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.