මදුරෝව අල්ලා ගැනීමත් සමග රන් - රිදී මිල ගණන් ඉහළට
January 5, 2026 12:01 pm
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාව විසින් යටත්කර ගැනීමත් සමඟ රන් , රිදි සහ වටිනා ලෝහවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
අද (05) උදෑසන ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක් ඩොලර් 4,408 (£3,282) ක් පමණ වූ අතර රිදී 3.5% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබූ බව සඳහන් වේ.
මේ අතර, බොරතෙල් මිල සුළු වශයෙන් වෙනස් වී ඇති අතර කලාපයේ කොටස් මිල බොහෝ දුරට ඉහළ ගොස් තිබූ බව වාර්තා විය.
රන් සහ රිදී මිල 2025 දී වාර්තා වූ ඉහළම අගයට ළඟා වූ බව සඳහන් වේ.
පසුගිය වසර අවසානයේ දී යම් පහත වැටීමක් සිදු වුවද රන් මිල තවමත් 1979 වසරේ සිට එහි ඉහළම වාර්ෂික අගය වාර්තා කරමින් පසුගිය දෙසැම්බර් 26 වනදා වන විට 60% කට වඩා ඉහළ ගොස් ඩොලර් 4,549.71 ක ඉහළම අගයට ළඟා වී තිබේ.
වෙනිසියුලාව තුළ වොෂින්ටනයේ මැදිහත්වීම බොරතෙල් සැපයුමට බලපාන්නේ දැයි ආයෝජකයින් විසින් අවධානයෙන් සිටි නමුත් පසුව එය තරමක් අඩු වීමක් පෙන්නුම් කර තිබේ.
මදුරෝව යටත්කර ගැනීමෙන් පසු වෙනිසියුලාවේ දැවැන්ත තෙල් සංචිතවලින් ප්‍රයෝජන ගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු විය.
නමුත්, 2000 දශකයේ මුල් භාගයේ සිට දැඩි ලෙස පහත වැටී ඇති වෙනිසියුලාවේ තෙල් යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම සඳහා ඩොලර් බිලියන ගණනක් වැය වන බව විශේෂඥයින් පවසා ඇත.
වෙනිසියුලාවේ බොරතෙල් නිෂ්පාදනය වසර ගණනාවක් පුරා පහළ මට්ටමක තිබූ අතර මේ වන විට ගෝලීය තෙල් නිෂ්පාදනයෙන් 1% ක් පමණ වන බව සඳහන් වේ.
