සමාව ඉල්ලන්න කිසිදු සූදානමක් නෑ-එකඟවිය හැකි විසඳුමක් සලකා බලන්න සූදානම්

February 6, 2012   03:26 pm

තම සැමියා වන සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ජනාධිපති සමාවක් ඉල්ලීමට කිසිදු සූදානමක් නැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.

සමාවක් ඉල්ලීමට තරම් කිසිදු වැරැද්දක් ඔහු විසින් සිදුකර නොමැති බව ඇය කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එසේ වුවද ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය වෙනුවෙන් ටිරාන් අලස් මහතා ජනාධිපතිවරයා සමග දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් සිටින බවත්,එකී සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් එකඟවිය හැකි විසඳුමක් ලැබෙන්නේනම් ඒ ගැන සලකා බලන්නට සූදානම් බවත් ෆොන්සේකා‍ මහත්මිය සඳහන් කළාය.

එහෙත් එය කිසිසේත්ම සමාව ඉල්ලීමක් නොවන බව ඇය අවධාරණය කළාය.

ජනාධිපතිවරයා සමග කරන ලද සාකච්ඡාවලදී දෙපාර්ශවයෙන්ම කොන්දේසි මාලාවක් ඉදිරිපත්ව ඇති බවත්,ඒවායේ ධනාත්මක පැත්තක්ද දක්නට ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.

අදාළ සාකච්ඡා පිළිබඳ නොබෝ දිනකින් මාධ්‍යයට කරුණු දැනගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත්,දැනට පක්ෂ අභ්‍යන්තරයේ පවත්නා කරුණු මේ මොහොතේ හෙළිදරව් කිරිම සුදුසු නැතැයි තමන් විශ්වාස කරන බවත් ෆොන්සේකා මහත්මිය කියා සිටියාය.

එසේ වුවද පෙබරවාරි මස 08 වන දිනට ෆොන්සේකා මහතා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අත්අඩංගුවට ගෙන දෙවසරක් සම්පූර්ණ වන බැවින් එදිනට අලුත්කඩේ උසාවි සංකීර්ණයට සාමකාමීව රැස්වන ලෙස ඇය ඉල්ලීමක් කළාය.

එය කිසිසේත්ම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් නොව යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සිටින සාමකාමී රැස්වීමක් පමණක් බවත්,යුක්තිය හා සාධාරණත්වය ලැබෙන්නේනම් ෆොන්සේකා මහතා නිදහස්විය යුතු බවත් ෆොන්සේකා මහත්මිය සඳහන් කළාය.