බූස්ස බන්ධනාගාරයේ පොළොව යටින් ජංගම දුරකතන මතුවෙයි
December 26, 2025 07:57 pm
දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවන් සතුව තිබී වසරේ මේ දක්වා කාලය තුළදී ජංගම දුරකථන 100කට අධික සංඛ්‍යාවක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මේ අතර ගත වූ දින තුළදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අපරාධකරුවන් වන ලොකු පැටී, මිදිගම රුවන් හා දෙමටගොඩ චමින්ද යන අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරි තුළ තිබී ද දුරකථන හමු වී ඇත.
එමෙන්ම ඇතැම් දුරකථන සිරමැදිරිවල පොළොව යට වළදමා තිබියදී සොයාගැනීම විශේෂත්වයකි.
දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවන් ඒ තුළ සිටිමින් දුරකථන මාර්ගයෙන් අපරාධ සිදුකරන බවට පසුගිය කාලයේ පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් බන්ධනාගාරය තුළ නිදහසේ ජංගම දුරකථන භාවිත කරමින් අපරාධ මෙහෙයවීම දිගින් දිගමට සිදු කෙරෙන බවය.
ඒ පිළිබඳ අදාළ අංශ දැනුවත් කළ ද මේ දක්වා ඔවුන් මෙය පාලනය කිරීමට අපොහොසත් වී ඇති බවද ඔහු පසුගිය සඳුදා සඳහන් කළේය.
එවන් පසුබිමක ඉකුත් 22,23 හා 24 වනදා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් සමග බූස්ස බන්ධනාගාරයේ හදිසි ප්‍රතිචාර හා උපක්රමික ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුම දියත්කර තිබුණි.
එහිදී දකුණේ අපරාධ මෙහෙයවන ලොකු පැටී, මිදිගම රුවන් හා මරණ දඩුවම නියමව සිටින දෙමටගොඩ චමින්ද යන අපරාධකරුවන්ගේ සිරිමැදිරි තුළ තිබීද දුරකථන සොයාගත් බව පොලිසිය පැවසුවේය.
එමෙන්ම ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු බවට පැවසෙන සමිදු දිල්ෂාන් නැමැත්තාගේ සිරමැදිරියේ තිබී ද දුරකතනයක් හමු වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
අමිල හිරුෂ්ලාල් හෙවත් කුරුල්ලා නම් අපරාධකරු රඳවා සිටින සිරමැදිරියේ අඩි එකහමාරක පමණ වළක් කපා සඟවා තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, චාජරයක් හා ඩේටා කේබල් එකක් ද සොයාගෙන ඇත.
එමෙන්ම විශේෂ අංශයේ වැඩ සඳහා යොදවා ඇති පාටි සිරකරුවන් සිටින සිරමැදිරියේ පොළොව යට වළදමා තිබූ චාජරයක් හා ඩේටා කේබල් එකක් සොයා ගෙන තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නවුෆර් මවුලවි නම් සැකකරුගේ සිරමැදිරියේ තිබී වයර් කැබලි දෙකක් ද හමු වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේය.
දින 84ක් තුළදී සිදුකළ මෙහෙයුම්වලදී අදාළ දුරකථන සොයාගෙන තිබූ අතර එම මෙහෙයුම්වලදී සිම් කාඩ් 159ක් හා චාජර් 110ක් ද සොයාගනු ලැබීය.
එමෙන්ම අන්තර්ජාල පහසුකම් ලබාගන්නා රවුටර් ද එම මෙහෙයුම්වලදී සොයාගෙන ඇත.
දූෂිත නිලධාරීන් විසින් ඒවා ගෙනැවිත් ලබාදී ඇති බවට සැකකෙරෙන බව ද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.
