අම්බලන්ගොඩ ඝාතනය පිටුපස සිටින කාන්තාව කොටුවෙයි

අම්බලන්ගොඩ ඝාතනය පිටුපස සිටින කාන්තාව කොටුවෙයි

December 26, 2025   01:16 pm

අම්බලන්ගොඩ වෙළෙඳ ආයතනයක කළමනාකරු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණය වී තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය හා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය එක්ව සිදුකළ විමර්ශනවලදීය.

විදෙස්ගතවී සැඟව සිටින කරන්දෙණිය සුද්දා මෙම ඝාතනය මෙහෙයවා ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු ඉකුත් දෙසැම්බර් 22 වැනිදා පෙරවරුවේ වෙඩිතබා ඝාතනය කෙරුණි.

ඒ ඔහු සේවය කරන ආයතන පරිශ්‍රය තුළදීය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකළ අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය පසුගියදා කිරිබත්ගොඩදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ, වෙඩික්කරුවන්ට පලායෑමට ප්‍රවාහන පහසුකම් හා ඔවුන් සම්බන්ධීකරණය කර ඇත්තේ ඔවුන් දෙදෙනා විසින් බවය.

විදෙස්ගතව සැඟව සිටින කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මෙහෙයවීම මත ඔවුන් දෙදෙනා අදාළ කටයුතු සිදුකර ඇති බවටත් මෙහිදී අනාවරණ වී තිබේ.

අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකාය හා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය එක්ව සිදුකළ විමර්ශනයේදී තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔත්තු බැලීම සඳහා යොදාගත් යතුරුපැදියක් ද විමර්ශන නිලධාරීන් සොයාගත් අතර ගිනිඅවි ලබාදුන් කාන්තාවක් පිළිබඳවත් තොරතුරු අනාවරණ වී තිබුණි.

ඒ අනුව හික්කඩුව ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී ඝාතනය සඳහා භාවිත කළ බව කියන පිස්තෝලය හා රිවෝල්වරය ද සොයාගනු ලැබුවේ ඇය සතුව තිබියදීය.

එම කාන්තාව කරන්දෙණියේ සුද්දා සමග සෘජුවම සබඳතා පවත්වන බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙයි.