ක්ෂේත්‍ර කිහිපයක කර්මාන්ත ශක්තිමත් කිරීමේ උපදේශක කමිටු පිහිටුවීමට කැබිනට් අනුමැතිය
December 23, 2025 03:40 pm
දේශීය නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා උපදේශක සභා පිහිටුවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනයේ ප්‍රතිපත්තිමය ගැටලු අවම කිරීමේ අරමුණින් නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍ර ආවරණය වන පරිදී උපදේශක සභා 20න් මේ වන විට පිහිටුවා ඇත.
එම උපදේශක කමිටු මගින් ආවරණය නොවන තවත් විශේෂිත කර්මාන්ත ක්ෂේත්‍ර 07ක් සඳහා උපදේශක කමිටු පිහිටුවීමේ අවශ්‍යතාව මේ වන විට හඳුනාගෙන තිබේ.
ඒ අනුව රාජ්‍ය ආයතන, වාණිජ මණ්ඩල/ සම්මේලන, විද්‍යායතන සහ අදාළ කර්මාන්ත ක්ෂේත්රයේ විෂේශඥයින් නියෝජනය වන පරිදි 25 දෙනෙකුට නොවැඩි සාමාජික සංඛ්‍යාවකින් සමන්විත කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා උපදේශක කමිටු පිහිටුවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව දේශීය ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය, රස කැවිලි ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රය, සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ක්ෂේත්රය, කුකුළු මස් ආශ්රිත කර්මාන්ත ක්ෂේත්රය, විසිතුරු මසුන් හා මුහුදු පැළෑටි ආශ්රිත කර්මාන්ත ක්ෂේත්රය, නිර්මාණාත්මක කලා ආශ්රිත කර්මාන්ත ක්ෂේත්රය, ඉසව් කළමනාකරණ ක්ෂේත්රය යන ක්ෂේත්රයන් සඳහා උපදේශක කමිටු පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
