මාලිමා මන්ත්‍රී පහරදුන් බව කියන සිද්ධියේ කොස්තාපල් වෛද්‍ය පරීක්ෂණයකට

මාලිමා මන්ත්‍රී පහරදුන් බව කියන සිද්ධියේ කොස්තාපල් වෛද්‍ය පරීක්ෂණයකට

December 21, 2025   07:47 pm

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පහරදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයාව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට තීරණය කර තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, අදාළ පොලිස් කොස්තාපල්වරයා එම සිදුවීම සිදුවන අවස්ථාවේ බීමතින් සිට ඇති බවට සැක පළ වී ඇති බවය. 

ඒ සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත පොලිස් කොස්තාපල්වරයා යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා තමාට පහරදුන් බවට පවසමින් පොලිස් කොස්තාපල්වරයකු පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දී තිබුණි. 

සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කරන ඔහු පසුගියදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ අදාළ මන්ත්‍රීවරයාගේ ඥාතියකුට අයත් ගංජා වැටලීමක් සිදුකළ පොලිස් කොස්තාපල්වරයකු බව සඳහන් වේ. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා සඳහන් කළේය. 

එම සිදුවීම සිදුවූ ප්‍රදේශයේ සී.සී. ටී.වී දර්ශන සහ අදාළ ස්ථානයේ රැදී සිටි පුද්ගලයින්ගේ සාක්ෂි ලබාගෙන ඒ පිළිබඳව මූලික විමර්ශන මේ වන විටත් සිදුකර ඇති බව ඔහු සඳහන් කළේය. 

කෙසේ වෙතත් තමන් එලෙස කිසිදු පහරදීමක් සිදු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පවසයි.

අදාළ පොලිස් කොස්තාපල්වරයා තමා ගමන් ගත් මෝටර් රථය නතර කර තර්ජනය කිරීමක් සිදු කිරීම සම්බන්ධයෙන් කොලොන්න පොලිසියට පැමිණිල්ලක් ද සිදු කළ බව ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාගේ බිරිද සඳහන් කළේ තම සැමියා විසින් ඊයේ රාත්‍රී දුරකථනයෙන් අමතා මෙම පහරදීම පිළිබදව දැනුම් දුන් බවය. 

අනතුරුව ඔහු රෝහල්ගත කිරීමට තමන් ඇතුළු පිරිසක් කටයුතු කළ බව පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳ සඳහන් කළාය.