සම්පත් මනම්පේරිට තවදුරටත් රැඳවුම් නියෝග

සම්පත් මනම්පේරිට තවදුරටත් රැඳවුම් නියෝග

December 19, 2025   04:04 pm

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් සහ ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනාව මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටින සම්පත් මනම්පේරි නැමැත්තා අද (19) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේ තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් හා තොරතුරු ලබා ගැනීමට ඇති බැවින් සහ සැකකරු විසින් ලබා දුන් තොරතුරු අනුව තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවත් මෙම කටයුතු සඳහා මොහු රඳවා ගැනීමට අපේක්ෂා කරන බවය.

ඒ අනුව එම රැඳවුම් නියෝග අවසන් වන එළැඹෙන 24 වැනි දින සිට තවත් දින 90ක් සඳහා රැඳවුම් නියෝග ලබා දෙන ලෙසත් ඒ සඳහා වන ලිපි ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් සැකකරු එළැඹෙන 24 වැනි දින දක්වා රඳවා ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී සම්පත් මනම්පේරි වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥයින් ප්‍රකාශ කර ඇත්තේ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය අධිකරණ නියෝග නොසලකා හරිමින් කටයුතු කරන බවත් තවදුරටත් නියෝග ලබා ගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය ලිපි අද දින ඉදිරිපත් කළ යුතුව ඇති බවත්ය.

කෙසේ නමුත් කරුණු සලකා බැලූ වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය විසින් සැකකරු එළැඹෙන 24 වැනි දින දක්වා තවදුරටත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා තබා ගැනීමට නියෝග කළාය.

එමෙන්ම මෙම නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පියල් මනම්පේරි නැමැත්තාද අද දින අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුද එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.