බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට
December 18, 2025 04:51 pm
'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් එළැඹෙන 20වනදා සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.
අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් කිලෝමීටර 70ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන් අවහිර වූ බවත්, එම ප්‍රමාණය මේ වනවිට පිළිසකරකර අවසන් බවත් ඔහු පවසයි.
"බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙනවා උඩරට දුම්රිය මාර්ගයේ කිලෝමීටර 70ක් අපට අයිති. ඒක හදලා ඉවරයි.
ලබන 20වනදා උදෑසන අඹේවෙලින් දුම්රියයි බදුල්ලෙන් දුම්රියයි දෙපැත්තට ධාවනය කරන්න පටන් ගන්නවා.
මේ සංචාරකයෝ එන මාසය. නුවරඑළියට එන සංචාරකයා, ඇල්ලට එන සංචාරකයා මේ දුම්රිය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කඩිනමින් මේ මාර්ගය හැදුවා" ඔහු පැවසීය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අද උදෑසන පාර්ලිමේන්තුව හමුවේ අදහස් දැක්වූ ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා සිටියේ, ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට මහාමාර්ග පද්ධතියට මෙන්ම දුම්රිය මාර්ග පද්ධතියටද දැඩි බලපෑම් එල්ල වූ බවය.
දුම්රිය මාර්ග නායයෑම් හා ගල් පෙරළීම් 91ක්, බෝක්කුවලට හානි සිදුවීම 38ක්, දුම්රිය මාර්ගවලට ගස් පෙරළීම් 149ක් සහ දුම්රිය පාදම කැඩී යෑම් 177ක් වාර්තා වූ බව ඔහු පැවසීය.
මීට අමතරව ගංවතුර තත්ත්වය හේතුවෙන් දුම්රිය ස්ථාන 27කටද හානි සිදුව තිබේ.
කෙසේ වෙතත් දුම්රිය කාර්ය මණ්ඩල සහ සේවකයින්ගේ සහාය ඇතිව ත්‍රිකුණාමලය මාර්ගය මේ වනවිට විවෘත කර ඇති බව අමාත්‍යාවරයා සඳහන් කළේය.
එමෙන්ම දැනට මහව දක්වා පමණක් සිදුවන දුම්රිය ධාවනය කන්කසන්තුරය දක්වාත්, පුත්තලම මාර්ගයේ නාත්තන්ඩිය දක්වා පමණක් ධාවනය වන දුම්රිය හලාවත දක්වාත් හා මඩකඩලපුව දුම්රිය මාර්ගයන්හි ධාවන කටයුතු ජනවාරි 1 සිට ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ අතර මාතලේ හා වත්තේගම අතර කොටස කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දැනට වත්තේගම දුම්රිය ස්ථානයේ නවත්වා ඇති දුම්රිය ධාවන කටයුතු සඳහා එක්කිරීමට කටයුතු කරන බවද හෙතෙම පවසයි.
මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගය පෙබරවාරි මස 1වනදා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය.
මේ අතර මහා මාර්ග පද්ධතියේ A හා B මාර්ග කිලෝමීටර 1,450ක ප්‍රමාණයක් මුළු මනින්ම විනාශ වූ බවත් ඔහු පවසයි.
ඉන් කිලෝමීටර 723ක මාර්ග විනාශ වී ඇත්තේ මාධ්‍යම පළාතේ බව සඳහන් කළ ඔහු, සියලු මාර්ග සකස්කිරීමට සඳහා මේ වනවිට රු.බි. 69ක මුදලක් ඇස්සමේන්තු කර ඇති බව ප්‍රකාශ කළේය.
මීට අමතරව ප්‍රධාන පාලම් 18ක් ඇතුළව පාලම් 40ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
එම පාලම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රු.බි. 6කට වඩා වැඩි මුදලක් වැයවන බවද ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
