2026 වසරේ සිදු කිරීමට නියමිත විගණන සංඛ්‍යාව 3,000 ඉක්මවයි

2026 වසරේ සිදු කිරීමට නියමිත විගණන සංඛ්‍යාව 3,000 ඉක්මවයි

December 9, 2025   03:54 pm

එළැඹෙන 2026 වසරේදී විගණන 3,508ක් සිදු කිරීමට නියමිත බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ඒ පසුගිය 03 වැනිදා රැස්වූ කාරක සභා අවස්ථාවේ වන අතර මෙම විගණන යටතට මූල්‍ය විගණන 3,484ක් කාර්ය සාධන විගණන 11ක්, පාරිසරික විගණන 1 සහ විශේෂ විගණන 12ක්ද ඇතුළත් වේ.

තවද සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සහ සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සංගම්වල විගණන කටයුතුද එළැඹෙන 2026 වසරේ සිට විගණකාධිපතිවරයා වෙත අලුතින් පවරා තිබේ.

මෙහිදී සමෘද්ධි විගණන සිදු කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ධාරිතාව පිළිබඳව කාරක සභාව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇති අතර ඊට පිළිතුරු ලබා දෙමින් වැඩබලන විගණකාධිපතිවරයා වත්මන් කාර්ය මණ්ඩලයට අමතරව 10%ත් -15%ත් අතර අමතර කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වනු ඇති බව පෙන්වා දුන්නේය.

මේ වනවිට ප්‍රාදේශීය කාර්යාල හරහා නියමු විගණන පරීක්ෂණ සිදු කරන අතර එම ක්‍රියාවලිය ලබන පෙබරවාරි මස අග දක්වා ක්‍රියාත්මක බවත් ඉන් අනතුරුව අලුතින් පිරිස් බඳවා ගන්නේද නැතහොත් බාහිරින් සේවාවන් ලබාගෙන එම විගණනය සිදු කරන්නේද යන්න තීරණය කරන බවත් වැඩබලන විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව විගණකාධිපතිවරයාගේ ඇගයීමට යටත්ව සමෘද්ධි සම්බන්ධව අතිරේක විගණන කටයුතු බාහිරකරණය කිරීමට කාරක සභාව සහාය දක්වන බවට කථානායකවරයාට නිරීක්ෂණයක් ඉදිරිපත් කිරීමට කාරක සභාව එකඟ විය.

ඒ අනුව ජාතික විගණන කාර්යාලය පරීක්ෂණ ව්‍යාපෘතියක් සිදු කිරීමටද කාරක සභාව එකඟ වූ අතර ජාතික විගණන කාර්යාලය පරීක්ෂන ව්‍යාපෘතියක් සිදු කර 2026 පෙරවාරි මස අවසානයේදී ඒ සම්බන්ධව වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසටත් උපදෙස් ලබා දෙන ලදි.