දකුණු මුහුදෙන් ඇල්ලූ යාත්‍රාව ගැන තවත් කරුණු හෙළිවෙයි

දකුණු මුහුදෙන් ඇල්ලූ යාත්‍රාව ගැන තවත් කරුණු හෙළිවෙයි

November 21, 2025   08:15 pm

මත්ද්‍රව්‍ය සමග දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් මේ වනවිට වැදගත් කරුණු රැසක් හෙළි වී තිබේ.

මෙම යාත්‍රාවේ සිටි ධීවරයින් 6දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, ඔවුන්ගෙන් මෙම තොරතුරු අනාවරණ කරගැනීමට පොලීසියට මේ වනවිට හැකිව තිබේ.

හලාවතින් මුහුදු ගොස් ඇති එම ධීවරයින් අතර, මාතර ගන්දර ප්‍රදේශයේ ධීවරයෙකු ද සිටියි.

ඔවුන් පොලීසියට පවසා ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය තොගය ඉරාන බෝට්ටුවකින් තමන්ට ලබාදුන් බවය. 

එමෙන්ම 'අයියා' ලෙසින් හඳුන්වන සමගි ජන බලවේගයෙන් පන්නල ප්‍රාදේශීය සභාවට තරග කළ අපේක්ෂකයෙක් ඔවුන්ට ලක්ෂ 25ක මුදලක් ද ලබා දී ඇත.

තවද ඔහු බෝට්ටුවට අවශ්‍ය ඉන්ධන සහ අනෙකුත් පහසුකම් ලබාදුන් බවත් ධීවරයින් පාපෝච්ඡාරණය කර තිබේ.

කෙසේ නමුත් එම පුද්ගලයාද මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ පක්ෂ සාමාජිකත්වය වහා ක්‍රියාත්මක වන පරිදි සමගි ජන බලවේගය විසින් අත්හිටුවා තිබේ.

පොලීසිය සැකකරන්නේ මෙම මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උණාකූරුවේ ශාන්ත නැමැති පුද්ගලයාට අයත් බවය. 

මෙම යාත්‍රාවෙන් රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 261ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 115ක් සොයාගැනීමට හැකිවිය.

ඊට අමතරව එහි ගිනිඅවි 2ක් සහ ඊට භාවිතකරන මැගසින් 02ක්ද එහි තිබී සොයාගනු ලැබීය.