සබරගමුවේ සිසුවා මියයෑමේ සිද්ධිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

සබරගමුවේ සිසුවා මියයෑමේ සිද්ධිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

November 18, 2025   09:51 pm

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකු නවකවධ තත්ත්වයකට මුහුණ පා සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අවසර ලබාදී තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතළ නවකවධ තත්ත්වයකට මුහුණ පා සියදිවි නසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට මෙසෙ ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුනි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය, එහි ලේකම් චතුර ගල්හේන යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම අද යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.

ඒ අනුව නවකවධය වැළැක්වීමේ පනත යටතේ නවක වධ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වනවිට විභාග කොට අවසන් වූ සහ දැනට විභාග වෙමින් පවතින සිද්ධීන් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කර ඇත.

එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල නවකවධ සිද්ධීන් සම්බන්ධයෙන් ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කෙරුණි.

ඊට අමතරව සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වධය හේතුවෙන් පීඩාවට පත්වූ සිසු සිසුවියන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙතද නියෝගයක් නිකුත් කළ විනිසුරු මඩුල්ල තවත් අතුරු නියෝග ගණනාවක්ද නිකුත් කර ඇත.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් විභාගය සඳහා ලබන වසරේ අප්‍රේල් මස 29  වනදා කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සබරගමුව විශ්වවිද්‍යාලය, එහි උපකුලපතිවරයා ඇතුළු පාලක සභාවේ සාමාජිකයින්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක ලේකම්, පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු 69 දෙනෙකු නම් කර තිබේ.