වාහන ආනයන බදු ආදායම අපේක්ෂිත ප්‍රමාණයට වඩා රු.බි. 100කින් ඉහළ ගිහින්
November 13, 2025 04:26 pm
2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100කට වැඩි ආදායමක් උත්පාදනය වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක දැක්වෙයි.
ඒ හේතුවෙන් 2026 වසරේ ඉදිරි මූල්‍ය සැලසුම් සකස්කිරීම පහසුවක් වී ඇති බව එහි සඳහන්.
කෙසේ නමුත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, වාහන ආනයනය මන්දගාමී වීම මත 2026 දී ආදායම් වැඩිවීමත් මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කරන බවය.
2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ සකස් කළ කෙටුම්පත් වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF)සලකා බැලීමට ගත් තීරණය දැනුම්දෙමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ මේ බව දැක්වේ.
අදාළ නිවේදනයට අනුව 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121(5)(i) ප්‍රකාරව සකස් කරන ලද කෙටුම්පත් වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) සලකා බලන ලදී.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් 'COPF' පසුගියදා (11) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත, රාජ්‍ය ණය කලමනාකරණ (PDM) පනත සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැඩසටහන යටතේ නියම කර ඇති අවශ්‍යතාවයන් අනුව 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සකස් වී ඇති බව අදාළ වාර්තාව මගින් දක්වා තිබේ.
මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
