ශ්‍රී ලංකා - පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි

ශ්‍රී ලංකා - පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි

November 13, 2025   06:58 am

පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) දිනයේ නොපැවැත්වෙන අතර එය හෙට දිනයේ (14) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, තෙවන එක්දින ක්‍රිකට් තරගය ලබන 16 වන දින පැවැත්විමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාකිස්ථාන බලධාරීන් සහතිකයක් ලබා දී ඇති බැවින් සැලසුම් කළ පරිදි තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වාදෙන්නේ ඒ පිළිබඳව සියලු ක්‍රීඩකයින්ට, කාර්යය මණ්ඩලයට සහ කණ්ඩායමේ කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවය.

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව පාකිස්තානයේ සංචාරයේ නිරත ශ්‍රි ලංකා ක්‍රීඩකයින් පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලීම් කර තිබුණි.

එම ඉල්ලීම සැලවු වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ක්‍රියාත්මක වී ක්‍රීඩකයින් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

සෑම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේම ආරක්ෂාව සහතික කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ආරක්ෂක බලධාරීන් එකඟ වී ඇති බවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.

එම නිසා තරගාවලිය සැලසුම් කළ පරිදි පවත්වාගෙන යාමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳව සියලු ක්‍රිඩකයින්ට සහ කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා ක්‍රීඩකයෙකු යළි ශ්‍රි ලංකාවට පැමිණීමට තීරණය කළහොත් ඒ සඳහා අදේශක ක්‍රිඩකයින් යොමුකරන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

යම් හෙයකින් කිසියම් ක්‍රීඩකයෙකු හෝ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු ආපසු පැමිණියහොත් ඔවුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.