නවදිල්ලි ප්‍රහාරය පිටුපස සිටින කිසිවෙකුත් අත්හරින්නේ නැහැ - මෝදි

නවදිල්ලි ප්‍රහාරය පිටුපස සිටින කිසිවෙකුත් අත්හරින්නේ නැහැ - මෝදි

November 11, 2025   10:06 pm

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදුකළ ප්‍රහාරයට වගකිව යුතු සියලුදෙනා නිසැකවම නීතිය හමුවට පැමිණවීමට වගබලාගන්නා බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කරයි.

අද (11) භූතානයේ නිල සංචාරයක් සඳහා එක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී මෙම ප්‍රකාශය සිදුකර තිබුණි.

"මම අද මෙහෙ ආවේ ශෝකයෙන් බරවූ හදවතක් ඇතිව. දිල්ලියේ ඊයේ සවස සිදුවූ භයානක සිදුවීමෙන් අපි සියල්ලන්ම කම්පාවට පත්ව සිටින්නේ. මෙම සියලු විමර්ශන කණ්ඩායම් සමඟ කතා කළා. අපේ ආයතන මේ කුමන්ත්‍රණයේ ගැඹුරටම සොයා බලයි. මේ පිටුපස සිටින මහමොළකරුවන් කිසිවෙකුත් අපි අත්හරින්නේ නැහැ. සියල්ලන්ම අපි නීතිය හමුවට පමුණුවනවා." යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ ඊයේ (10) සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණි.

ප්‍රහාරයේ සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ ජම්මු - කාෂ්මීර වැසියෙක් වන 37 හැවිරිදි වෛද්‍යවරයෙකි.

මේ අතර පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර අද සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙක් මියගියේය.