ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරිය ගැන අධිකරණයට දැනුම්දීමක්
October 31, 2025 01:55 pm
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන පැය 72ක කාලයක් රඳවා ගෙන සිටින නීතිඥවරිය දින 90ක කාලයක් තවදුරටත් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කරුණු දැක්වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා මෙම දැනුම්දීම සිදු කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට නීතිඥවරියක වන තමරා කුමාරි අබේරත්න නමැත්තිය අත්අඩංගුවට ගෙන පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන බව සඳහන් කළේය.
මෙම සැකකාර නීතිඥවරිය තවදුරටත් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් එම නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සැකකාර නීතිඥවරිය විසින් ගණේමුල්ල සංජීව ඝාතනය සිදු කළ වෙඩික්කරුට අවශ්‍ය කරන ටයි පටි දෙකක්, නීතිඥවරුන්ගේ වාහනවල භාවිතා කරන ලාංඡනය සටහන් වූ ස්ටිකරයක්, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යන ග්‍රන්ථ දෙකක්, නීතිඥ හැදුනුම්පතක් සකස් කිරීමට අවශ්‍ය ඡායාරූප ආදිය ලබාදී තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරියා පැවසුවේය.
එම නීතිඥවරියගේ ජංගම දුරකථන දෙකක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.
එම සැකකාරිය දිර්ඝ කාලයක් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමග සම්බන්ධකම් පවත්වා ඇති බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් කියා සිටියේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේවන විට අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමග විදේශ රටවලට ගොස් සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව පැවසුවේය.
මෙම රංගන ශිල්පිනියන් කෙහෙල්බද්දර පද්මේ සමග සම්බන්ධතා පවත්වමින් කිසියම් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මුදල් විශුද්ධිකරණය හෝ අවිආයුධ සම්බන්ධ අපරාධමය කටයුතුවලට යොමුවී තිබේදැයි අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ඔහු කියා සිටියේය.
කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ප්‍රකාශයක් මත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයාගත් බවත් එම පිස්තෝලය ගාල්ල ප්‍රදේශයේ සිදුවූ අපරාධවලට යොදා ගෙන තිබේදැයි වැඩිදුර විමර්ශන සිදු කරන බවත් එම නිලධාරියා කියා සිටියේය.
ඒ අනුව එම පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැදවීමට අවසර දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමටද නියම කළේය.
ඉන් අනතුරුව මෙම විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් මස 07 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කර සිටියේය.
 
 
					