ඖෂධ මිල නියාමනය සඳහා වන නියෝග ලබන 21 වැනිදා විවාදයට
October 18, 2025 06:41 pm
ඖෂධ මිල නියාමනය සඳහා වන නියෝග ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.
ඊට අදාළ නියෝග ඇතුළත් නව ගැසට් නිවේදනයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිව තිබුණි.
විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව රැස්වූ අවස්ථාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දුන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත අනුව ඖෂධ සඳහා වන මිල නියාමනය කිරීමේ බලය එම අධිකාරිය සතු බවය.
මෙම නියාමන කටයුතු 2017 වසරේ සිට සිදුකළ නමුත් 2023 වසරේ ඖෂධ ගෙන්වීමේ සමාගම් එකතුවකින් පවරන ලද නඩුවකට අධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් 2023 දෙසැම්බර් මස 22 වැනිදා සිට මිල නියාමන කටයුතු නතර කිරීමට සිදුවූ බව ඔහු සඳහන් කළේය.
2024 අගෝස්තු මාසයේදී මෙම නියාමන ක්‍රමවේදය පළ කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ නමුත් එය ද අභියෝගයට ලක් වූ බව පෙන්වාදුන් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා යළි 2025 ජූලි 21 වැනිදා තවත් ගැසට් පත්‍රයක් පළ කළ බව කියා සිටියේය.
එම ගැසට් පත්‍රයේ සඳහන් නියෝග මෙලෙස මීළඟ පාර්ලිමේන්තු දිනය වන ලබන 21 වැනිදා විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.