ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යද්දී ඉන්දීය රත්‍රං ජාවාරමත් ජයටම
සයුරෙන් එතෙර

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යද්දී ඉන්දීය රත්‍රං ජාවාරමත් ජයටම

October 17, 2025   03:44 pm

ලෝකයේ දෙවැනි විශාලතම රන් ගැනුම්කරු වන ඉන්දියාව, රන් ආනයන බද්ද 15% ඉඳන් 6% දක්වා අඩු කිරීමත් සමඟ නීතිවිරෝධී අන්දමින් රන් ඉන්දියාවට රැගෙන ඒම කැපී පෙනෙන ලෙස අඩු වී තිබේ.

එහෙත් ලෝක වෙළෙඳපොළේ රන් මිල විශාල වශයෙන් ඉහළයාම සහ සීමිත සැපයුම නිසා ඉන්දියාවේ රන් ජාවාරම මේ වනවිට නැවතත් ඉහළයමින් පවතින බව වාර්තා වේ.

ඉන්දියාවේ මේ මාසයේ රන් හා බැඳුණු ආගමික උත්සව දෙකක් යෙදී තිබේ.

ධන්තෙරා සහ දීපවාලී කියන එම උත්සව සමයේ රන් මිලදී ගැනීම ශුභ කටයුත්තක් විදියටයි ඉන්දියාවේ හින්දු ජනතාව විශ්වාස කරයි.

මේ නිසා එම උත්සව සමය ආසන්නයේ ඉන්දියාවේ රන් ජාවාරම් ඉහළයාමක් ද දක්නට ලැබෙන බව ඉන්දීය රේගුව පවසයි.

ඒ විදියට නීතිවිරෝධී ලෙස ඉන්දියාව රන් ගෙනඒමට දැරූ ප්‍රයන්ත කිහිපයක්ම ගුවන්තොටුපොළවලදී වැළැක්වීමට හැකි වූ බවත් එමඟන් ප්‍රකාශ කළේය.

නීතිවිරෝධී ලෙස රන් ඉන්දියාවට රැගෙනවිත් ඒවා රන්කරුවන් අතට පත්කිරීම අවදානම් සහ කල් ගතවන කටයුත්තකි. 

එහෙත් දැන් ඒ විදියට රන් රැගෙන එන ජාවාරම්කරුවන් පැය කිහිපයත් තුළ තමන්ගේ ගනුදෙනුව සම්පූර්ණ කරගන්නා බව චෙන්නායි නුවර රන් වෙළෙඳන්දෙකු රොයිටර්ස් පුත් සේවයට පවසා තිබේ.

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළයාමට සාපේක්ෂව ඉන්දීය වෙළෙඳපොළේ රන් මිලත් දැන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ඉන්දීය වෙළෙඳපොළේ රන් ග්‍රෑම් 10ක මිල ඊයේ (16) රුපියල් 128,395 දක්වා නව වාර්තාගත මිලක් සටහන් කළේය.

මේ වසර තුළ මේ දක්වා ඉන්දියාවේ රන් මිල 67%කින් ඉහළ ගොස් තිබේ.

මේ නිසා නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ගෙනෙන රන් කිලෝවකින් තීරුබදු 6% සහ 3% ක දේශීය අලෙවි බද්ද මඟහැරීමෙන් පමණක් රුපියල් මිලියන 1.15ක පමණ ලාභයක් ලබාගන්නා බව වාර්තා වෙයි. 

රන් මිල ඉහළයාමත් සමග මේ ජාවාරම්කරුවන්ගේ ආදායමත් ඉහළගොස් ඇති බවයි මුම්බායි නුවර රන් වෙළෙඳන්දෙකු ප්‍රකාශ කර තිබේ.

එහෙත් ඉන්දීය රජය රන් ආනයනය බද්ද පසුගිය ජුලි මාසයේ අඩු කිරීමත් එක්ක මේ රන් ජාවාරම්කරුවන්ගෙන් ලාභයත් අඩු වී ඇත.

ආයෝජනයක් විදියට රන් මිලදී ගැනීමට උත්සාහ කළත් වෙළෙඳපොළේ සැපයුම පහළ මට්ටමක පවතින බව ඉන්දීය රන් වෙළඳුන් ප්‍රකාශ කරයි.

ඉල්ලුම ප්‍රමාණවත් ලෙස සපුරාලීමට නොහැකි නිසා ඉන්දීය බැංකු විසින් ද පවතින රන් තොග සඳහා ඉහළ මිලක් අයකරන බව වාර්තා වේ.

පසුගිය මාර්තු මාසයෙන් අවසන් වූ 2024 / 2025 මූල්‍ය වර්ෂය තුළ ඉන්දීය රේගුව සහ නීතිය බලගැන්වීමේ ආයතන මඟින් නීතිවිරෝධී ලෙස රන් ඉන්දියාවට රැගෙන ඒමේ සිද්ධීන් 3005ක් වාර්තා කර තිබේ.

එහිදී ඔවුන් රජයේ භාරයටගත් රන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2.6ක් පමණ වේ.

මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල තවදුරටත් අමෙරිකානු ඩොලර් 4,300 ඉක්මවා ස්ථාවරව පවතින බව වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි.