හමාස් ප්‍රාණඇපයෙන් නිදහස ලැබූ නිවුන් සොහොයුරෝ

හමාස් ප්‍රාණඇපයෙන් නිදහස ලැබූ නිවුන් සොහොයුරෝ

October 13, 2025   02:18 pm

ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් මේ වනවිට ආරම්භ කර තිබේ.

ජීවතුන් අතර සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 20 මෙලෙස අද (13) දිනයේ නිදහස් කළ අතර එහි පළමුවෙන්ම නිදහස් කළ පිරිස අතර සිටින නිවුන් සහෝදරයන් දෙදෙනෙකුගේ ඡායාරූප මේ වනවිට විදෙස් මාධ්‍ය පුරා පළ වී තිබුණි.

ගාලි සහ සිව් බර්මන් නම් 28 හැවිරිදි තරුණයින් දෙදෙනාව දින 738කට පසුව මෙලෙස නිදහස් කර තිබේ.

ගාලි සහ සිව් බර්මන් යන තරුණයින් දෙදෙනා සහ නිදහස ලැබූ පළමු ප්‍රාණඇපකරුවන් හත් දෙනා හමාස් සංවිධානය විසින් භාරදෙනු ලැබුවේ අන්තර්ජාතික රතු කුරුස සමාජය වෙතය.

ඉන් අනතුරුව මේ පිරිස ඊශ්‍රායල හමුදාවේ විශේෂ කණ්ඩායමක් වෙත භාරදීමට රතු කුරුස නිලධාරීන් පියවර ගත්තේය.

ඒ අනුව පැමිණි ප්‍රාණඇපකරුවන් හත් දෙනා මේ වනවිට ඊශ්‍රායල භූමියට ඇතුළු වී තිබේ.

ඉතිරි ප්‍රාණඇපකරුවන් භාරගැනීමට රතු කුරුස නිලධාරීන් මේ වනවිට ගාසා තීරයේ නිදහස් කිරීමේ කලාපය වන ඛාන් යුනිස් වෙත නැවත ගමන් කරමින් සිටින බව වාර්තා වේ.