අතුරුදන් වූ එක් සිසුවෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි
October 10, 2025 12:53 pm
මහනුවර, තැන්නේකුඹුර පාලම ආසන්නයෙන් අතුරුදන් වූ බවට පැවසූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මෘත ශරීරය මහවැලි ගඟේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබේ.
දරුවාගේ මෘත ශරීරය මහවැලි ගඟේ හාරගම ප්‍රදේශයේ පාවෙමින් තිබිය දී අද (10) පෙරවරුවේ සොයාගෙන ඇත.
එලෙස මෘත ශරීරය හමුව ඇත්තේ, රවිචන්ද්‍රන් ජෙගදිස් නැමති 14 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවාගේය.
ඊයේ (09) දිනයේ දී පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වුණි.
මෙලෙස අතුරුදන්ව සිටියේ මහනුවර නගරයේ පාසල් දෙකක ඉගෙනුම ලබමින් සිටි තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි 09වන වසරේ සහ 08 වන වසරේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි රවිචන්ද්‍රන් ජෙගදිස් සහ එම්.මිලාන් නැමැති සිසුන් දෙදෙනෙකි.
මෙම සිසුන් දෙදෙනා ඊයේ පස්වරුවේ නිවෙස්වලින් පිටව ගොස් ඇත්තේ සුරතල් මසුන් මිලදී ගැනීමට දිගන ප්‍රදේශයට යන බව පවසමිනි.
මේ අතර, ඊයේ (08) පස්වරුවේ මෙම සිසුන් දෙදෙනා මහවැලි ගඟට බැස ගල්තලාවක සිටි බව එම ප්‍රදේශයේ ධීවරයෙකු පොලීසියට පවසා ඇත.
මෙම ධීවරයා සිසුන් දෙදෙනාට ගඟට නොබසින ලෙසට අවවාද සිදුකළත් ඔවුන් ධීවරයාට පවසා ඇත්තේ තමන්ට පිහිනීමට හැකි බවය.
නමුත් පසුව බලන විට වර්ෂාවත් සමඟ ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ බවත් සිසුන් දෙදෙනා එම ගල්තලාවේ නොසිටි බැවින් ඔවුන් ගඟෙන් එගොඩ වන්නට ඇති බව තමන් සිතූ බවත් ධීවරයා පොලීසියට වැඩිදුරටත් පවසා තිබේ.
එමෙන්ම තවත් කිහිපදෙනෙකු ද මෙම සිසුන් දෙදෙනා මහවැලි ගඟට බැස සිටිනවා දුටු බව පොලීසියට පවසා ඇත.
නමුත් අතුරුදන්ව සිටින ජෙගදීස් සිසුවාගේ මව පවසා ඇත්තේ තම පුතුට පිහිනීමට නොහැකි බවත් කිසිවිටෙකත් සිය පුතු මහවැලි ගඟට දිය නෑමට නොයන බවත්ය.
මේ අතර, අතුදන්ව සිටින සිසුන් දෙදෙනාගේ යහලුවෙකුගේ පියෙකු පොලීසියට පවසා ඇත්තේ, මෙම සිසුන් දෙදෙනා සිය පුතුටද මහවැලි ගඟේ දිය නෑමට ආරාධනා කළ නමුත් ඔහු ඔවුන් සමඟ නොගිය බවය.
මහනුවර මූලස්ථාන පොලීසිය සහ බලගොල්ල පොලීසිය එක්ව අතුරුදන්ව සිටින සිසුන් සෙවීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්ම කළ අතර, නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක්ද යොදවා මහවැලි ගඟේ සෙවීමේ කටයුතු සිදුකළේය.