80 වන විජයග්‍රාහී සැමරුම ඇමතූ චීන ජනපති

80 වන විජයග්‍රාහී සැමරුම ඇමතූ චීන ජනපති

September 3, 2025   08:57 am

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය සඳහා වන අනුස්මරණ උත්සවය අද(03) චීනයේ බීජිං අගනුවර ටියැන්ඇන්මෙන් චතුරශ්‍රයේදී පැවැත්වුණි.

එයට එක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, චීන ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා වැදගත් දේශනයක් පැවැත්වීය.

"අද මේ අවස්ථාවේදී ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහිපත් කර සාමය අගයන දීප්තිමත් අනාගතයක් නිර්මාණය කළ යුතු" බව ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.

ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධයට සහභාගී වූ ප්‍රවීණයන්, ප්‍රවීණ සහෝදරවරුන්, දේශප්‍රේමීන්, ප්‍රවීණ සොල්දාදුවන් සහ එම යුද්ධයේ ජයග්‍රහණය සඳහා මනා දායකත්වයක් ලබා දුන් දෙස් විදෙස් චීන ජනතාව වෙත ෂී ජින් පිං මහතා එම අවස්ථාවේ දී ඉහළම ගෞරවය පුදකර සිටියේය. 

එමෙන්ම එවක චීන ජනතාවට සහාය දුන් විදේශීය රජයන්ට සහ ජාත්‍යන්තර මිතුරන්ට ද චීන ජනාධිපතිවරයා සිය හෘදයාංගම කෘතඥතාව පළ කළ අතර, අද දින පැවැත්වෙන අනුස්මරණ උත්සවයට එක්ව සිටින සම්භාවනීය අමුත්තන් සාදරයෙන් පිළිගන්නා බව ද පැවසීය.

"ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය, ශ්‍රේෂ්ඨ මෙන්ම දුෂ්කර යුද්ධයකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලිකත්වයෙන් ජපාන ආක්‍රමණයට එරෙහි චීන එක්සත් පෙරමුණ යන ධජය යටතේ, නොසැලෙන අධිෂ්ඨානයෙන් බලවත් සතුරෙකුට එරෙහිව සටන් කළ චීන ජනතාව, ඔවුන්ගේ ලේ මස් තුළින් මහා ප්‍රාකාරය ගොඩනඟා නූතන යුගයේ විදේශීය ආක්‍රමණයට එරෙහිව පළමු සම්පූර්ණ ජයග්‍රහණය අත්කර ගත්තා." යනුවෙන් මෙහිදී චීන ජනාධිපතිවරයා කියා සිටියේය.

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ වැදගත් සංධිස්ථානයක් බවත් චීන ජනතාව මහා ජාතික පරිත්‍යාගයන් තුළින් මානව ශිෂ්ටාචාරය සුරකිමින් ලෝක සාමය ආරක්ෂා කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් බවද චීන ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඉතිහාසය කියා දී ඇත්තේ, මානව වර්ගයාට ඇත්තේ එකම ඉරණමක් පමණක් බවත් විවිධ ජාතීන්, එකිනෙකාට සමානව සලකමින් සමගි සම්පන්නව ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 

යුද විපත් නැවත සිදුවීම වැළැක් විය හැකි එකම ක්‍රමය එය බව ද ජනාධිපතිවරයා පැවසීය.

කිසිදු ප්‍රචණ්ඩත්වයකට බිය නොවන චීන ජාතිය, ස්වශක්තියෙන් නැගී සිටින ශ්‍රේෂ්ඨ ජාතියක් බවද චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මෙහිදී ප්‍රකාශ කළේය. 

යුද්ධය පැවති සමයේ, යුක්තිය සහ නපුර, ආලෝකය සහ අන්ධකාරය, ප්‍රගතිශීලී සහ ප්‍රතිගාමී බව අතර අරගලයට මුහුණදුන් චීන ජනතාව වෛරයට එරෙහිව එක්සත් වී ජාතික පැවැත්ම, ජාතික පුනර්ජීවනය සහ මානව යුක්තිය සඳහා සටන් වැද තිබෙන බව ද චීන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

අද ලෝකය, සාමය හෝ යුද්ධය, සංවාදය හෝ ගැටුම, පොදු ජයග්‍රහණ අතර තේරීමකට නැවතත් මුහුණදෙන බව පැවසූ චීන ජනාධිපතිවරයා, ඉතිහාසයේ නිවැරදි පැත්ත උදෙසා මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතියේ ස්ථිරව රැඳී සිටිමින් සාමකාමී සංවර්ධන මාවතට අනුගත වන අතර සියලු රටවල ජනතාව සමඟ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට චීන ජනතාව ක්‍රියා කරමින් සිටින බව ද කියා සිටියේය.

චීන මහජන විමුක්ති හමුදාව, සැමවිටම චීන කොමියුනිස්ට් පක්ෂයට මෙන්ම චීන ජනතාවට සම්පූර්ණයෙන්ම විශ්වාසය තැබිය හැකි වීරෝධාර හමුදාවක් බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මෙහිදී සඳහන් කළේය. 

හමුදාවේ සියලුම නිලධාරීන් සහ භටයන් තම වගකීම් පක්ෂපාතීව ඉටු කළ යුතු අතර ලෝක ප්‍රමුඛ මට්ටමේ හමුදාවක් ලෙසට ගොඩනැගීම කඩිනම් කළ යුතු බවද අවධාරණය කළ චීන ජනාධිපතිවරයා, ජාතික ස්වාධිපත්‍යය, එක්සත්භාවය සහ භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස ආරක්ෂා කරමින් චීන ජාතික පුනර්ජීවනය සඳහා උපායමාර්ගික සහාය ලබා දිය යුතු අතර ලෝක සාමය සහ සංවර්ධනය වෙනුවෙන් චීන මහජන විමුක්ති හමුදාව වඩාත් වැඩි දායකත්වයක් ලබා දිය යුතු බව ද අවධාරණය කළේය.

ඉතිහාසය අතීතය රැගෙන යන අතර අනාගතයට ආලෝක එක් කරන බව ෂී ජින්පිං මහතා මෙහිදී ප්‍රකාශ කළේය. 

නව යුගයේ නව ගමනේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනයේ විවිධ ජාතීන් මාක්ස්-ලෙනින්වාදය, මාඕ සේතුං චින්තනය, ඩෙන්ග් ෂියාඕපිං න්‍යාය, "නියෝජනත්ව තුන" යන වැදගත් චින්තනය සහ සංවර්ධනය පිළිබඳ විද්‍යාත්මක දැක්ම තහවුරු කළ යුතු බවද චීන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී චින්තනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරමින් චීන ලක්ෂණ සහිත සමාජවාදී මාවත නොසැලී අනුගමනය කළ යුතු බව ද කියා සිටි ෂී ජින්පිං මහතා, ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ ජීවගුණය උරුම කර එය තවත් ඔප් නංවමින් ධෛර්යයෙන් මෙන්ම අධිෂ්ඨානයෙන් ඉදිරියට යා යුතු බව අවධාරණය කළේය.

චීන මාදිලියේ නවීකරණය ඔස්සේ ප්‍රබල රටක් ගොනැගීම සහ ජාතික පුනර්ජීවනය පුළුල් ලෙස ඉදිරියට ගෙන යාම වෙනුවෙන් චීන ජනතාව එක්සත් ව උත්සාහ දැරිය යුතු බව ද පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා, චීන ජනතාවගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවනය නැවැත්විය නොහැකි අතර මානවයන්ගේ සාමය සහ සංවර්ධනය සඳහා වන උතුම් කාර්යයන් නිසැකවම ජය ගනු ඇති බව ද පැවසීය.