විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගත් ඉතිහාසයේ පළමු අවස්ථාව

විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගත් ඉතිහාසයේ පළමු අවස්ථාව

August 22, 2025   05:13 pm

මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සඳහන් කළ හැකියි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවේ, ජුනි 24 වෙනි දා ය‍.

අනතුරුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

1949 මාර්තු 24 දා උපත ලද රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා පසුගිය යහපාලන රජයේ අග්‍රාමාත්‍ය ධූරය ද හෙබවීය.

1970 වසරේ මැද භාගයේදී කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ ඔහු පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරිණි. 1977 දී ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ ඒ මහතා ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ළාබාලතම අමාත්‍යවරයා වන අතර එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරය යි.

අවුරුදු 28 දී විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා වූ හෙතෙම පසුව තරුණ කටයුතු අධ්‍යාපන සහ කර්මාන්ත විද්‍යා සහ තාක්ෂණ කැබිනට් අමාත්‍ය ධූර හෙබවීය.

1989 මාර්තු 06 – 1993 මැයි 07 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සභානායක ධූරයේ ද කටයුතු කළ වික්‍රමසිංහ මහතා 1994 සිට 2001 දක්වාත් 2004 සිට 2015 දක්වාත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයේ කටයුතු කළේ ය.

වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට 1993 මැයි 7 වන දා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ අතර 1994 අගෝස්තු 19 දක්වා එම තනතුර හෙබවීය.

වික්‍රමසිංහ මහතා දෙවන වරට 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රේල් 02 දක්වා ත් තෙවන වරට 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 21 දක්වා ත් සිවුවන වරට 2015 අගෝස්තු 24 සිට 2018 ඔක්තෝබර් 26 දක්වා ත් පස්වන වරට 2018 දෙසැම්බර් මස 16 වන දින සිට 2019 නොවැම්බර් 21 දක්වා ත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.

ඉන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍ය ධූරයට පත්වී එම ධූරයේ කටයුතු කරමින් සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව 2022 ජූලි 15 වනදා සිට ඔහු නැවත වැඩ බලන ජනාධිපති ධූරයට ද පත්විය.

රට තුළ පැවති අරගලකාරී වාතාවරණය හමුවේ, ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා, 2022 ජූලි 20 වන දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.