සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාව

සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාව

April 18, 2025   12:47 pm

සකල ලෝ වාසීන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට අද (18) උදාවී තිබේ.

ඒ, 16 වසරකට පසු අද ඇරඹි සිරි දළදා වන්දනාව සමගිනි.

ඒ අනුව අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා, ජනතාවට දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගත හැකිය.

මේ වන විටත් දහස් සංඛ්‍යාත ජනකායක් සිරි දළදා වන්දනාවට මහනුවරට පැමිණ සිටී.

ක්‍රිස්තු වර්ෂ 310දී පමණ ත්‍රිකුණාමලයේ අප්‍රකට වරායකින් ලංකාද්වීපයට වැඩම වූ දළදා වහන්සේ මෙරට රාජධානි කිහිපයකදීම සුරක්ෂිත කොට රැකබලා ගැනීමෙන් පසු වර්තමානයේ ඓතිහාසික සෙංකඩගල දළදා මැදුරේ ලෝවාසී ජනීජනයාගේ අපමණ ගරුබුහුමන් මැද වැඩ සිටී.

මහජනතාව වෙනුවෙන් පැවැත්වුණු සිරි දළදා වන්දනාවේ පළමුවැන්න අදට වසර 1715කට පෙර අනුරපුර කිත්සිරිමෙවන් මහරජු දවස දක්වා දිවෙන බව දාඨා වංශයේත්, පාහියන් චීන දේශාඨන වාර්තාවලත් සඳහන් ය. 

මෑතකාලීන ඉතිහාසයේ, 1828, 1882, 1972, 1978, 1991, 1995, 2001, 2004 සහ අවසන් වරට 2009 වසරේදීත් සිරි දළදා වන්දනාව පැවැත්වුණි.

මේ අතර “සිරි දළදා වන්දනාව“ සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කෙරෙයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, අද සිට මහනුවර දක්වා දුම්රිය ගමන්වාර 08ක් ක්‍රියාත්මක වන බවය.

මහනුවර බලායාමට බොහෝ පිරිසක් ඊයේ රාත්‍රියේ සිටම කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙමින් සිටී.

මේ අතර දිනපතා පෙරවරුවේ මහනුවර බලා යන ශීඝ්‍රගාමි දුම්රියට විශේෂ මැදිරියක්ද එක්කර ඇත්තේ සිරි දළදා වන්දනාව වෙත පැමිණෙන විදෙස් තානාපතිවරුන් සඳහාය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීමක් මත මෙම දුම්රිය මැදිරිය ධාවනයට එක්කර තිබේ.

රාජ්‍ය තාන්ත්‍රිකයින් 44 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාව සඳහා මෙලෙස දුම්රියෙන් අද පැමිණ තිබුණි.

මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට මහනුවර දක්වා විශේෂ බස් රථ යොදවා තිබේ.

මෙම සේවාව ලබන 29 වනදා දක්වා ක්‍රියාත්මකය.

සැදැහැවතුන්ට සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක් සකස් කර තිබේ.

ඒ, ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම දක්වා, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වා සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වා වශයෙනි.

මෙම පෝලිම්වල යාවත්කාලීන තොරතුරු හා රථවාහන ගාල්වල යාවත්කාලීන තොරතුරු www.police.lk වෙබ් අඩවිය හරහා සැදැහැවතුන්ට දැනගැනීමට අවස්ථාව සලසාදී තිබේ.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් සුදු වතින් සැරසී පැමිණෙන ලෙසත්, විශාල ප්‍රමාණයේ ගමන්මලු , කැමරා, වීඩියෝ උපකරණ හා අනෙකුත් විද්‍යුත් උපකරණ ශ්‍රී දළදා මාලිගාව වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසත් පොලීසිය ඉල්ලා සිටී.