සයුරෙන් එතෙර
ට්‍රම්ප්ගේ තීරුබදුවලට එරෙහිව චීනය අවසානය තෙක් සටන් කිරීමට සැරසෙයි
April 8, 2025 10:58 am
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට පැනවූ නව තීරු බදු මේ වනවිට ලොව පුරා දැඩි අවධානය දනවන මාතෘකාවක් බවට පත්ව තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා චීනය වෙත පනවා තිබූ නව තීරු බදුවලට එරෙහිව චීනය විසින් අමෙරිකාවට පැනවූ තීරු බදු ලොව පුරා දැඩි අවධානයට ලක්විය.
එහිදී චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 34%ක නව තීරු බදු පැනවීමට ගත් පියවරට ප්‍රතිඋත්තර ලෙස අමෙරිකානු භාණ්ඩ සඳහා ද චීනය 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තේය.
මෙම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (07) දිනයේදී පවසා ඇත්තේ අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවය.
මීට ප්‍රතිඋත්තර ලබා දෙමින් චීන වාණිජ අමාත්‍යංශය පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවය.
චීන නිෂ්පාදිත භාණ්ඩ සඳහා අතිරේක 50%ක බද්දක් පැනවීමේ අමෙරිකානු ජනාධිපතිගේ තර්ජනය "වැරැද්දක් මත වැරැද්දක්" ලෙස හඳුන්වන බවද චීන අමාත්‍යංශය පවසා තිබේ.
තවද තීරුබදු සඳහා වන සියලු සැලසුම් ඉවත් කරන ලෙසත් එක්සත් ජනපද - චීන වෙනස්කම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙසත් චීන වානිජ අමාත්‍යාංශය අමෙරිකානු ජනාධිපතිවරයාට දන්වා තිබේ.
පසුගිය අප්‍රෙල් 02 වැනි දින අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ලොව සෑම රටකින්ම අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා නව තීරුබදු පැනවීමක් සිදුකරනු ලැබූ අතර එම තීරණය ගෝලීය වෙළෙඳපොළවල් දැඩි පසුබෑමකට ලක් කරන සිදුවීමක් විය.
මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම නව තීරුබදු තීරණයත් සමග ලොව පුරා බොහෝ රටවල්වල කොටස් මිල දර්ශකයට තවදුරටත් දැඩි බලපෑම් එල්ල වී තිබේ.
ඒ අනුව ජාතික නිවාඩු දිනයකින් පසු විවෘත වූ තායිලන්ත කොටස් වෙළෙඳපොළ ද, දීර්ඝ නිවාඩුවකින් විවෘත වූ ඉන්දුනීසියානු කොටස් වෙළෙඳපොළ මෙන්ම තායිවාන කොටස් වෙළෙඳපොළ ද අද දිනයේදී පහළ වැටී තිබේ.
එහිදී තායිලන්ත කොටස් වෙළෙඳපොළ අද උදෑසන විවෘත කරන විට කොටස් මිල දර්ශකය 04%කින් පහත වැටීමකට ලක්වූ අතර දිගු නිවාඩුවකින් පසු විවෘත වූ ඉන්දුනීසියානු කොටස් වෙළෙඳපොළ 09%කින් පහත වැටී තිබේ.
එමෙන්ම තායිවාන කොටස් වෙළෙඳපොළ 10%කින් පහත වැටීමකට ලක් විය.
අමෙරිකානු ජනාධිපතිවරයා මින් පෙර පවසා තිබුණේ තමාට මෙම තීරු බදු ඉහළ දැමීම සිදුකිරීමට අවශ්‍ය බවය.
ඊට හේතු ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එක්සත් ජනපදය විසින් විදෙස් රටවල්වලට විකුණන ප්‍රමාණයට වැඩි ප්‍රමාණයකින් අමෙරිකාව විදෙස් භාණ්ඩ මිලදී ගන්නා බවත් එය අසාධාරණ ක්‍රියාවලියක් බවය.
එය එරට ආරක්ෂාවට තර්ජනයක් බවත් නව තීරුබදු හේතුවෙන් එක්සත් ජනපදයට වැඩි රැකියා ප්‍රමාණයක් ගෙන එනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණි.
මේ අතර බංග්ලාදේශයේ අන්තර්කාලීන රජය එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇත්තේ එරටට පනවා ඇති තීරුබදු සැලසුම් මාස තුනකට අත්හිටුවන ලෙසය.
චීනය සහ වියට්නාමයට පසුව අමෙරිකා එක්සත් ජනපදයට නිමි ඇඳුම් සපයන තුන්වන විශාලතම සැපයුම්කරු බංග්ලාදේශය වන අතර මෙම සතිය අවසානයේදී එහි අපනයන සඳහා 37%ක බද්දකට මුහුණ දීමට බංග්ලාදේශයට සිදුවේ.