පොලීසියෙන් රියදුරන්ට දැනුම්දීමක්
January 21, 2025 09:02 pm
මහනුවර මහියංගණය ප්රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි විකල්ප මාර්ග පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
ඒ අනුව විකල්ප මාර්ග පහතින් දැක්වෙයි,
මහනුවර දෙස සිට මහියංගණය දෙසට ධාවනය වන බර වාහන තැන්නේකුඹුර හන්දියෙන් රජ මාවත දෙසට හා මහියංගණය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන බර වාහන හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රන්දෙනිගල මාර්ගය දෙසටත් විකල්ප මාර්ග ලෙස භාවිතා කළ හැකිය.
එමෙන්ම මහනුවර දෙස සිට මහියංගණය දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහනවලට පමණක් උඩුදුම්බර පොලිස් වසමේ එනමල්පොත හන්දියෙන් උඩුදුම්බර නගරයටත්, මහියංගණය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන සැහැල්ලු වාහන උඩුදුම්බර නගරයෙන් එනමල්පොත හන්දිය දක්වාත් විකල්ප මාර්ග ලෙස භාවිත කිරීමේ හැකියාව පවතී.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර මහියංගණය ප්රධාන මාර්ගයට උඩුදුම්බර පොලිස් වසමේ කහටගොල්ල ප්රදේශයෙන් පස් කඳු හා ගල් කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් පැවති බැවින් ගොඩනැඟිලි පර්යේෂණ නායයාම් හා අවදානම් කළමනාකරණ අංශයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කළේය.
ඒ අනුව මෙම මාර්ගයේ රාත්රී කාලයේ ගමන් ගන්නා වාහන හා පුද්ගලයින් හට බරපතළ අනතුරු සිදුවිය හැකි බැවින් 2025.01.20 වන දින සවස 6 සිට 2025.01.21 වන දින උදෑසන 6 දක්වා කාලය තුළ මහනුවර මහියංගණය ප්රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් වසා දැමීමට කටයුතු කර තිබුණි.
මාර්ගයට ගල් පෙරළීමේ අවදානම සම්බන්ධයෙන් අද (21) දින මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්රික් ලේකම්ගේ ප්රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වන ලදි.
ඒ අනුව මෙම අවදානම් සහිත තත්ත්වය තවදුරටත් එලෙසම පවතින බැවින් රාත්රී කාලයේ ගමන් ගන්නා වාහන හා පුද්ගලයින්ට සිදුවිය හැකි අනතුරු වැළැක්වීම සඳහා අද දින සවස 6 සිට හෙට (22) දින උදෑසන 6 දක්වා කාලය තුළ ද ඉහත සඳහන් මාර්ගය නැවත වසා දැමීමට තීරණය කරන ලදි.