රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහාය  

රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහාය  

August 16, 2024   10:31 am

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් "පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ.

අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී ඊට අත්සන් තබා ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ ඒ.එච්.එම් ෆවුසි මහතා ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතා නම් කෙරුණි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් මුජිබර් රහුමාන් මහතා එලෙස පසුගිය දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූ අතර පසුව ඔහු යළිත් පාර්ලිමේන්තුවට පත් කෙරුණි.

ඩයනා ගමගේ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් මුජිබර් රහුමාන් ව එලෙස යළිත් නම් කළේය.

"පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තැබූ පිරිස පහතින්,

ඒ අනුව මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ අලි සබ්රි යන මහත්වරුන් "පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තැබීය.

එමෙන්ම නව සන්ධානය නියෝජනය කරමින් සුසිල් ප්‍රේම්ජයන්ත, පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් මහජන පක්ෂය නියෝජනය කරමින් ටිරාන් අලස්, සමගි ජන බලවේගය නියෝජනය කරමින් රාජිත සේනාරත්න සහ ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන්ද අත්සන් තබා තිබුණි.

මීට අමතරව ශ්‍රී ලංකා මහජන පක්ෂය වෙනුවෙන් අසංක නවරත්න, නව ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කුමාර වෙල්ගම, නිදහස ජනතා සභාව වෙනුවෙන් උදයන කිරිඳිගොඩ, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මොහොමඩ් මුසම්මිල්, ජාතික කොංග්‍රසය වෙනුවෙන් ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් පක්ෂ නියෝජිතයින් රැසක් ද මේ සඳහා අත්සන් තැබීය.