රුසියානු-යුක්‍රේන යුද්ධයේදී මියගිය අපේ රණවිරුවන් ගැන අලුත්ම හෙළිදරව්ව

රුසියානු-යුක්‍රේන යුද්ධයේදී මියගිය අපේ රණවිරුවන් ගැන අලුත්ම හෙළිදරව්ව

May 15, 2024   12:14 pm

රුසියානු යුක්‍රේන යුද්ධය සඳහා අනීතිකව ගොස් සිටි ශ්‍රී ලාංකිකන් 16 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, යුද්ධයට එක් වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි 288ක් මේවන විට ලැබී ඇති බවය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා විසින් රුසියානු හමුදා සේවයට ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීමට පළ කළ දැන්වීම මෙලෙස ප්‍රසිද්ධ කළේය.

එම දැන්වීම පහතින් දැක්වේ...

"මේ වගේ දැන්වීම් රැසක් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම මොවුන්ව ගිවිසුම් ගත කරගෙන තියෙනවා. රුසියානු භාෂාවෙන් ගිවිසුම ලබාදීලා තියෙන්නේ. ඒකේ සිංහල පරිවර්තනය ගූගල් ට්‍රාන්ස්ලේෂන් එකක් කරලා තියෙනවා කියලා අපිට හිතෙන්නේ."

ප්‍රශ්නය - රුසියාවට ගිය අයගෙන් මියගිය සංඛ්‍යාව දැනුම් දුන්නා ද ?

"මට තිබෙන තොරතුරු අනුව මියගිය අය ගණන 16ක් බවට තහවුරු වෙලා තියෙනවා."

මේ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ  රුසියානු යුක්‍රේන යුද්ධයට ගොස් ඇති ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් රුසියානු තානාපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවය.

"ඊයේ හවස මම පුද්ගලිකව ම රුසියානු තානාපතිවරයා හම්බ වුණා. එතුමාගෙන් ඉල්ලීම් කිහිපයක් අපි කළා. එක ඉල්ලීමක් තමා යුද පෙරමුණේ කුලී හේවායන් ලෙස සේවය කරන රණවිරු ලැයිස්තුවක් අපිට ලබාදෙන්න. ඊළඟ එක තමා මියගිය අය ගැන සම්පූර්ණ විස්තර අපිට ලබාදෙන්න. එතකොට අපිට පුළුවන් ඒ අයගේ පවුල්වල අයට රණවිරුවා මියගිය බවට කියන්න. නැතිනම් ප්‍රතිකාර ලබන බවට හෝ රණවිරුවන්ව ලංකාවට ගෙන්වලා හමුදා රෝහලේ ඉහළම ප්‍රතිකාර ලබා දෙන්න. මියගිය රණවිරුවන්ව ආදාහනය කරලා නම් ඒ අයගේ අළු හරි අරන් දෙන්න. එතකොට නැදෑයන්ට ඒකවත් ලබාදෙන්න. රුසියානු තානාපතිවරයා මට පොරොන්දු වුණා ඉල්ලීම්වලට අනුව කටයුතු කරනවා කියලා. අපිට කතා නොකළ අය ඉන්නවා නම් ආරක්ෂක අමාත්‍යාංශයට කතා කරලා තොරතුරු ලබාදෙන්න."

මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, රජයේ අවශ්‍යතාවය මත තමාට මෙම රණවිරුවන් ගෙන්වා ගැනීමට මැදිහත් විය හැකි බවය.