ඉන්ධන මිල ඉහළට

October 29, 2011   09:30 pm

වහා ක්‍රියාත්මකවන පරිදි අද මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල්,ඩීසල්,සහ භූමිතෙල් මිල වැඩිකර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රු.12 න්ද,ඩීසල් ලීටරයක මිල රු.8 න්ද,භූමිතෙල් ලීටරයක මිල රු.10 න්ද වැඩිවන බව ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනූව ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල ‍රුපියල් 137ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 143 සිට රුපියල් 155 දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 76 සිට 84 දක්වා මිල ඉහළ යනු ඇත. එපමණක් නොව සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 106 ශත 30ක් දක්වා ඉහළ නැංවෙයි.

මීට අමතරව රුපියල් 61ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 71 දක්වා ඉහළ නංවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි. මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද පෙට්‍රල් ලීටරයක් රුපියල් දොළහකින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඩීසල් ලීටරයක් ද රුපියල් දෙකකින් මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නංවා ඇති බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ප්‍රකාශ කරයි. මේ අතර පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් භාණ්ඩ මිල සහ බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බව වාර්තා වේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියේ ලබන අඟහරුවාදා සංගමයේ නිලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් පසු බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය කරන බවයි.

ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද දෙරණට කියා සිටියේය.