දියතලාව බිහිසුණු ඛේදවාචකයේ නොදත් කතාව

දියතලාව බිහිසුණු ඛේදවාචකයේ නොදත් කතාව

April 21, 2024   08:20 pm

දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකුට ජීවිත අහිමි විය.

අනතුරින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය අද පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ විය.

මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ වසර 5කට පසුවය.

අවසන් වරට 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින මෙම ධාවන තරගාවලිය පවත්වා ඇති අතර පාස්කු ප්‍රහාරය හේතුවෙන් එම තරගය අතරමග නතර කිරීමට සිදුවිය.
 
ඒ අනුව වසර 5ක කාලයක් එම තරගාවලිය නොපැවැත්වුණු අතර මෙවර එම තරගාවලිය සඳහා විශාල ජනසහභාගීත්වයක් ද පැවැති බව වාර්තා විය.

අද (21) පෙරවරුවේ ආරම්භ වු ධාවන තරගය පැවැත්වෙන අතරවාරයේ මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් මියගිය පුද්ගලයින් 7 දෙනා අතර 8 හැවිරිදි දැරියක් ද වන බව පොලීසිය පැවසීය.

ධාවන තරගයේ සහායකවරුන් 4 දෙනෙකු ද අනතුරින් මියගොස් ඇති බව සඳහන් වෙයි.

මෙම අනතුරත් සමග ධාවන තරගාවලිය නතර කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.