හොරණ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු

හොරණ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු

April 7, 2024   04:32 pm

අද (07) දහවල් හොරණ මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවී තිබේ.

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කරමින් මෝටර් රථයකින් හඹා ආ කණ්ඩායමක් මෙම වෙඩිතැබීම සිදුකර ඇත. 

වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇතැයි මොරගහහේන පොලීසිය පැවසීය.

වෙඩි වැදී ඝාතනයට ලක්වූ පුද්ගලයන් දෙදෙනාට රත්නපුර මාරපන ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ලකෑම සම්බන්ධයෙන් පවතින නඩුවක ඇප කොන්දේසියකට අනුව සෑම ඉරු දිනකම රත්නපුර පොලීසියේ පෙනී සිට අත්සන් කිරීමට නියමිතව තිබුණි.

එබැවින් එලෙස රත්නපුර පොලීසියේ අත්සන් කර නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වී ඇති බවද පොලීසිය පවසයි. 

ඝාතනයට ලක්ව ඇත්තේ පන්නිපිටිය හිරිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රූපසිංහ ආරච්චිගේ නයනානන්ද පෙරේරා නමැති 52 හැවිරිදි පුස්ගලයෙක් සහ පිළියන්දල සිද්දමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වසන්ත පෙරේරා නම් 50 හැවිරිදි අයෙකි.

වෙඩිතැබීම සඳහා මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවත් උණ්ඩ 13ක කොටස් අදාළ ස්ථානයේ තිබී හමුවූ බවත් වාර්තා වෙයි.

ත්‍රීරෝද රථයෙහි පිටුපස ගමන් කළ පුද්ගලයා රෝහලට රැගෙන යන අතරමගදී මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ත්‍රීරෝද රථය ධාවනය කළ පුද්ගලයාගේ ශරීරයේ තිබී උණ්ඩ 03ක් හමුවූ බවත් මොරගහහේන පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසීය. 

එසේම වෙඩික්කරු ඇතුළු පිරිස වෙඩිතැබීමට යොදාගත් මෝටර් රථයෙන් රත්නපුර සිටම ත්‍රීරෝද රථය පසුපස පැමිණ ඇතැයි සැක කරයි.

වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරු රැගත් මෝටර් රථය තල්ගහවිල දෙසට ගොස් පාදුක්ක දෙසට ගමන් කර තිබේ.

මෙම ඝාතනය ඩුබායිහි සැඟව සිටින ජයකොඩිගේ තනුජ සම්පත් නොහොත් හෝමාගම "හඳයා" නමැති සංවිධානාත්මක අපරාධකරු විසින් ලබාදුන් ඝාතන කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවටත් තොරතුරු වාර්තාවී ඇතැයි ද පොලීසියේ උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

සිද්ධියවූ ස්ථානයට පැමිණි කළුතර පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය,මොරගහහේන පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය සහ පොලිස් කණ්ඩායම් 06ක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.