මාවනැල්ලේ දී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට

මාවනැල්ලේ දී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට

April 7, 2024   06:41 am

මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ ආරවුලක් විසඳීමට යාමේ දී පොලීසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ (06) රාත්‍රී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ ආරවුලක් ඇති බවට මාවනැල්ල පොලීසියට දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

ඒ අනුව, ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇත.

එහිදී ආරවුලට සම්බන්ධ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති බව වාර්තා වෙයි.

එම අවස්ථාවේ තවත් පොලිස් නිලධාරියෙකු අහසට වෙඩිතබා ඇති අතර එම පොලිස් නිලධාරියාට ද අදාළ පුද්ගලයා පහර දීමට උත්සහ කිරීමේ දී වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සිදුකළ වෙඩිතැබීමෙන් පහරදීම සිදුකළ පුද්ගලයාගේ පියාට වෙඩිවැදී ඇති අතර තුවාල ලැබූ ඔහු මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වෙයි.

මියගොස් ඇත්තේ 53 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ද සම්බන්ධ අපරාධකරුවෙකු බව පොලීසිය පවසයි.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද මේ වනවිට මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

අදාළ පහරදීම සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මාවනැල්ල පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.