ලංකාවට එමින් සිටියදී පාලමේ ගැටුණු නැවේ සිටි පිරිස ගැන හෙළිදරව්වක්

ලංකාවට එමින් සිටියදී පාලමේ ගැටුණු නැවේ සිටි පිරිස ගැන හෙළිදරව්වක්

March 26, 2024   04:55 pm

අමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිට ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී පාලමක ගැටුණු නැවේ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වෙයි.

එම නැවෙහි කාර්ය මණ්ඩලය ලෙස ඉන්දීය ජාතිකයින් 22ක් කටයුතු කර ඇති අතර ඔවුන් තවමත් එම නැවෙන් ඉවත්වී නොමැති බව සඳහන් ය.

Patapsco ගංගාව හරහා එම පාලම ඉදිකර තිබුණේ 1977 දීය.

"Dali" නම් සිංගප්පුරු ධජය යටතේ සේවයට යොදවා තිබුණු එම නෞකාව අමෙරිකාවේ වේලාවෙන් උදෑසන 1.30ට පමණ පාලමෙහි ප්‍රධාන කණුවක ගැටුණි.

ඒ හේතුවෙන් එම පාලම ගඟට කඩා වැටුණු අතර පාලම මතින් ගමන් කරමින් තිබූ වාහන 7ක් පමණ ගඟට වැටී තිබුණි.
 
ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසන්නේ 20 දෙනෙක් පමණ ගඟට වැටී ඇතැයි අනුමාන කරන බවයි.

ගඟට වැටී සිටි දෙදෙනෙක් සහන කණ්ඩායම් විසින් බේරාගෙන තිබුණු අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

තවත් 7 දෙනෙක් ගිලුණු වාහන තුළ සිටිතැයි අනුමාන කෙරෙන අතර සොනාර් තාක්ෂණය භාවිතයෙන් ඒ බව සහන කණ්ඩායම් විසින් තහවුරු කරගෙන තිබේ.

බැල්ටිමෝ වරාය අමෙරිකාවේ කාර්යබහුලම වරායකි. මේ වනවිට වරාය අසල තදබදයක් වර්ධනය වෙමින් තිබෙන බවද සඳහන් ය.