කොට්ටාවේ යතුරුපැදි අනතුරෙන් මියගිය සිසුවාගේ ඛේදවාචකය

කොට්ටාවේ යතුරුපැදි අනතුරෙන් මියගිය සිසුවාගේ ඛේදවාචකය

March 26, 2024   04:08 pm

කොට්ටාව, හයිලෙවල් මාර්ගයේදී ඊයේ (25) සිදුවූ රිය අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එම අනතුර සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළිවී තිබේ.

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබුණේ මෙවර උසස් පෙළට පෙනීසිටී සහන් දිවංත පෙරේරා නම් සිසුවෙකි.

පවුලේ බාලයා වූ සහන් මිතුරෙකුගේ යතුරුපැදියක් රැගෙන එය මවට පෙන්වීම සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබුණි.

නවීකරණය කරන ලද එම යතුරුපැදියට දැඩි ආශාවෙන් සිටි සහන් සතුට වැඩිකමට එය මවට පෙන්වීම සඳහා එලෙස රැගෙන ගොස් ඇති බවද වාර්තා විය.

එලෙස මිතුරා ට ආපසු යතුරුපැදිය භාරදීම සඳහා පැමිණෙමින් සිටි සහන්, කොට්ටාව දෙස සිට මාකුඹුර දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය හරහා දකුණට හැරවීමට යාමේදී (යූ ටර්න්) මාකුඹුර දෙස සිට කොට්ටාව දෙසට ධාවනය කරමින් තිබූ යතුරුපැදිය එහි ගැටී තිබුණි.

එහිදී යතුරුපැදිය මාර්ගයේ පෙරළී කොට්ටාව දෙස සිට මාකුඹුර දෙසට ධාවනය වූ කැබ් රථයක ද ගැටීමෙන් සහන් ට දිවි අහිමිවිය.

එම අනතුරින් මිය ගිය තරුණයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ හා කැබ් රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.