විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපැයිම් ඉහළට

විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපැයිම් ඉහළට

March 26, 2024   09:53 am

ගෙවුණු වසරේ අවසන් කාර්තුවේ සියයට 4.5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ ඉදිරි මාස 12ක කාලය තුළ මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් දැක ගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ලබා ඇති ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් 8.5% සහ 9.5% දක්වා පදනම් ඒකක 50කින් අඩු කිරීමටද මහ බැංකුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු සමඟ ගනුදෙනු කරන ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහත හෙලීමට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය  තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් 8.5% සහ 9.5% දක්වා පදනම් ඒකක 50කින් අඩු කිරීමටයි එමඟින් තීරණය කර තිබේ.

ආර්ථිකයට එහි ප්‍රශස්ත මට්ටමට ළඟාවීමට සහාය වෙමින් මැදිකාලීනව උද්ධමනය 5%ක මට්ටමේ පවත්වාගැනීම සඳහා වර්තමාන සහ අපේක්ෂිත දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹුණු බව මහ බැංකුව ප්‍රකාශ කරයි.

මෙරට නිල වත්කම් සංචිතය 2024 වසරේ පෙබරවාරි මාසය අවසාන වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක මට්ටමේ පැවති අතර, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරය උපයන ආදායම ඉහළ යාම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි මහ බැංකුව පෙන්වා දෙයි.

ඒ අනුව 2024 වසරේ පළමු මාස දෙක තුළ ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 964ක් වන අතර, සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 687කි. 

2023 වසරේ අමෙරිකානු ඩොලරයට එරෙහිව 12.1%කින් අධිප්‍රමාණය වූ රුපියල 2024 වසරේ මේ දක්වා 6.7%කින් අධිප්‍රමාණය වී ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම මුදල් ප්‍රතිපත්ති විවරණයේ දැක්වේ.

විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපැයිම් ඉහළට ගිය ආකාරය පහත ඡායාරූපයෙන් දැක්වේ.