තවත් පාතාලයින් පස්දෙනෙකු කොටුවෙයි

තවත් පාතාලයින් පස්දෙනෙකු කොටුවෙයි

March 25, 2024   07:13 am

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ තවත් අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මිනුවන්ගොඩ පන්සිලුපුර ප්‍රදේශයේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය පෙබරවාරි මස 16වන දා මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යතුරු පැදියේ පැදිකරු බවට අනාරවරණය වී තිබේ.

මේ අතර කෙසෙල්වත්ත, සෙබස්තියන් පාර ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරු සතුව තිබී කඩු 05ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 680ක් සොයාගෙන තිබේ.

එම සැකකරු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සම්බන්ධ වී කටයුතු කළ අයෙකු බව පොලීසිය පැවසුවේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළොන්නාව ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 190ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඊයේ දහවල් කොළෂ අපරාධ කොට්ඨාස නිලධාරීන් ට ලද තොරතුරක් අනුව කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර සංවිධානාත්මක අපරාධ කල්ලි  සාමාජිකයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 168ක් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 35ක් වූ කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර ඊයේ සවස බොරැල්ල පොලිස් වසමේ සිරිසර උයන මහල් නිවාස අසල වැටලීමක් සිදුකර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 230ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 38 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.