වසන්ත යාපා බණ්ඩාරත් කෝප් එපා කියයි

වසන්ත යාපා බණ්ඩාරත් කෝප් එපා කියයි

March 20, 2024   09:51 am

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සේවය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාව තේරීම් කාරක සභාව විසින් නම් කළ බව නියෝජ්‍ය කථානායකවරයා විසින් අද (20) උදෑසන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එම අවස්ථාවේ දී නැගී සිටි වසන්ත යාපා බණ්ඩාර මහතා තමා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බව නියෝජ්‍ය කථානායකවරයාට දැනුම් දුන්නේය.

තමාගේ ඉල්ලා අස්වීම ලිඛිතව ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් මේ වනවිට ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ගාමිණී වලේබොඩ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, හේෂා විතානගේ සහ එස්. එම් මරික්කාර් යන මහත්වරු, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරු අතර වේ.